චීවරධාරියෙක් හෙරොයින් ගෙන යද්දී මාට්ටු

හෙරොයින් සහ ගංජා සමඟ දහනව හැවිරිදි චීවරධාරියකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙක් උණවටුන සහ පිලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

උණවටුන ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින මේ චීවරධාරියා යටගල මාර්ගයේ ගමන් කරමින් සිටින විට පොලිසිය මොහු නවතා පරීක්ෂා කළ අවස්ථාවේ ළඟ තිබී පැකට්ටුවක අසුරන ලද හෙරොයින් මිලිග්‍රෑම් විස්සක් සොයා ගෙන ඇත.
චීවරධාරියා ඊෂිකෑස් ක්‍රමයට හෙරොයින් ලබාගෙන යමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබේ. මොහු උණවටුන ප්‍රදේශයේ විහාරස්ථානයක නැවතී සිටින අතර එම විහාරස්ථානයට අයත් ත්‍රිරෝද රථයේ රියැදුරු විසින් මොහුට හෙරොයින් පානය කිරීමට පුරුදුකර ඇති බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.

මේ අතර ඊෂිකෑස් ක්‍රමයට මුදල් ගෙවා ලබාගත් හෙරොයින් මිලිග්‍රෑම් විස්සේ පැකට් තුනක් රැගෙන යමින් සිටි තවත් පුද්ගලයන් දෙදෙනකු උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

උණවටුන ප්‍රදේශයේ විදුලි කණු තුනක් අසල සඟවා තිබියදී මේ හෙරොයින් පැකට් තුන ගෙන යන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මීට අමතරව ගංජා ග්‍රෑම් පහ බැගින් ගංජා ග්‍රෑම් දහයක් සමඟ තවත් පුද්ගලයන් දෙදෙනෙක් පිලාන හන්දියේදී අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රියන්ත උදයකුමාර මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක රුවන් සැරයන් සුජීව (54375) කොස්තාපල්වරුන් වන ගුණසේකර (62953) මදුසංඛ (73383) යන මහත්වරුන් විසින් මේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.