සිකුරාදා සිට ගිගුරුම් වැසි

ලබන සිකුරාදා (20 වැනිදා) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස්‌ කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වුවත් එය පවතින නියං තත්ත්වය සමනය කිරීමට තරම් ප්‍රමාණවත් නොවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (අනාවැකිකරණ අංශය) අනුෂා වර්ණසූරිය මහත්මිය ඊයේ (17 දා) පැවසුවාය.

සුළං ප්‍රවාහයේ ඇති වූ වෙනස්‌කම් නිසා දින කිහිපයක්‌ මෙම වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බවත් විශේෂයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙය බලපානු ඇති බවත් ඇය කියා සිටියාය.

ලබන විසිවැනිදා තෙක්‌ වැසි රහිත වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි ද බස්‌නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල උදය කාලයේ මීදුම් සහිත තත්ත්වයක්‌ පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.