නින්දේදී ගොරවන්නේ ඇයි?

නින්දේදී ගෙරවීම බොහෝ දෙනෙකුට පවතින අපහසුතාවකි. මෙහි බරපතළම අපහසුතාව මතුවන්නේ ගොරවන පුද්ගලයාට නොව එම පුද්ගලයා ළඟ සිටින අයටය.

ඔයා හරියට ගොරවන්නේ ලී කොටයක්‌ ඉරනවා වගේ නේ. ඇතැම් දෙනා නින්දේදී ගොරවන හඬ අසා පවසති.

නින්දෙන් ගෙරවීම පිළිබඳව අප සැහැල්ලුවෙන් යුතුව පැවසුවත් මෙය ඇතැම් පුද්ගලයන්ගේ පවුල් කඩාකප්පල් වීමට ද බලපා ඇත.
* නින්දෙන් ගෙරවීම රෝගයක්‌ ද?

ගෙරවීමේ හඬ ඇතිවන්නේ ස්‌වසන මාර්ගයේ ඉහළ කොටසේ අවහිර වීම හේතුවෙනි. නින්දේදී තල්ල සහ ග්‍රසනිකාවේ බිත්ති දෙදරීමක්‌ ඇති වේ.

යන්තමින් ගෙරවීම බොහෝ විට හානිකර නැත නමුත් තදින් ගොරවන පුද්ගලයන් පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඔවුqනගේ ස්‌වසන මාර්ගය සැලකිය යුතු ලෙස අවහිර වීම නිසා හුස්‌ම හිරවීම පවා සිදුවිය හැකිය.

ගෙරවීම නිසා දීර්ඝ කාලීනව පෙණහල්ලේ, හෘදය වස්‌තුවේ, රුධිර සංසරණ පද්ධතියේ ආබාධ ඇතිවිය හැකිය.

උදාහරණ ලෙස අධි රුධිර පීඩනය, හෘදයාබාධ ආදිය ඇති වේ.

ගෙරවීම නිසා වරින්වර හුස්‌ම හිරවීමට ලක්‌වීමෙන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රෝගියා නින්දෙන් අවදි වේ. එහි අනිසි ප්‍රතිඵල වනුයේ හරිහැටි රාත්‍රියට නින්ද නොලැබීම නිසා දිවා කාලයේ අධික මහන්සිය ඇතිවීම, නිදිබරබව, හිසරදය ආදිය මතුවීමයි.

මෙම අපහසුතා නිසා දවසේ එදිනෙදා කටයුතු නිසි ලෙස සිදුකර ගැනීමට බාධා මතුවේ.

* නින්දේදී ගෙරවීමට බලපාන හේතු මොනවාද?

නින්දේදී ගෙරවීමට බලපාන හේතු රැසක්‌ ඇත. නාසය ඇතුළත මස්‌දලු හට ගැනීම, ළමුන්ගේ ඇඩිනොයිඩි ග්‍රන්ථිය විශාල වීම, නාස කුටිර දෙකකට වෙන් කරන ද්වාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි මෘදු තල්ල සහ රසදිව දික්‌ව පැවතීම, දිව විශාලව පැවතීම, තරබාරු ශරීරය සහ කෙටි බෙල්ලක්‌ පැවතීම, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතය, තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම යන කරුණු ගෙරවීමට බලපාන සුලබ හේතු ලෙස දැක්‌විය හැකිය.

* නින්දේදී ගෙරවීම බහුලව මතුවන්නේ කාන්තාවන්ටද? පිරිමින්ටද?

නින්දේදී ගෙරවීම බහුලව දක්‌නට ලැබෙන්නේ පිරිමි පුද්ගලයන් අතරය. වයසට යනවිට ගොරවන අයගේ ප්‍රතිශතය ද වැඩි වේ.

තරුණ ගැහැනු අය අතර නින්දේදී ගෙරවීම, අඩු වුවත් වයස 60 ඉක්‌ම වූ කාන්තාවන් නින්දේදී ගෙරවීමට බහුලව ගොදුරු වේ.

* නින්දේදී ගෙරවීම වර්ග කළ හැකිද?

නින්දේදී ගොරවන පුද්ගලයන් පිළිබඳව සිදු කර ඇති සමීක්‍ෂණ අනුව එය වර්ග තුනකට වෙන් කර ඇත.

යාන්තමින් ගෙරවීම, ඉතා තදින් ගෙරවීම සහ නින්දේදී හුස්‌ම හිරවීමය.

යන්තමින් ගෙරවීම ඇති පුද්ගලයන්ට හුස්‌ම ගැනීමේ අපහසුතා මතුවන්නේ නැත.

ඉතා තදින් ගොරවන පුද්ගලයන්ට හුස්‌ම ගැනීමේ අපහසුතා ඇත.

පැය 07 ක නින්දකදී 30 වතාවකට වඩා හුස්‌ම ගැනීම අපහසුතා මතු වේ නම් එය භයානක තත්ත්වයකි. මෙහිදී රෝගියාගේ රුධිරයේ ඔක්‌සිජන් සාන්ද්‍රණය අඩු වී මරණය පවා සිදුවිය හැකිය.

* නින්දේදී ගොරවන අයට ඇති ප්‍රතිකාර මොනවාද?

නින්දෙන් ගොරවන පුද්ගලයන් උගුර, කන, නාසය පිළිබඳ වෛද්‍යවරයකු හමු වී නිසි පරීක්‍ෂාවක්‌ සිදු කරගෙන ගෙරවීමට හේතු හඳුනා ගත යුතුය.

ඒ අනුව උගුරේ හෝ ස්‌වසන මාර්ගයේ පවතින අවහිරතා සඳහා ශල්‍යකර්ම ප්‍රතිකාර සිදු කළ යුතු විය හැකිය.

ඇතැම් රෝගීනට ශල්‍යකර්ම මගින් සුවයක්‌ ලබා දිය නොහැකි වේ. ඔවුනට ස්‌වසන මාර්ගය නින්දේදී වැසී යැම වැළැක්‌වීමට විශේෂ යන්ත්‍රයක්‌ ලබාදිය යුතුයි. (Continuous Positive air way pressure)