ලොවෙන් අඩක ධනය අට දෙනෙක් අතේ

මීට පෙර දැන සිටියාට වඩා ලොව ඇති නැති පරතරය වඩාත් ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය ක්‍රියාධරයෝ පෙන්වා දෙති.ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය පවසන පරිදි ලොව ප්‍රකෝටිපතියන් අට දෙනෙකු සතු ධනය, කෝටි තුන්දහස් පනසීයක්වන ලොව ජනගහනයෙන් අඩක් වූ වඩාත් දුගී ජනතාව සතු ධනයට සමාන අගයක් ගනු ලබයි.

ලොව ධනවත්ම ප්‍රකෝටිපතියන් අට දෙනා අතර මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ද සිටිති.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂක මැතිව් ස්පෙන්සර් කියා සිටියේ වත්මන් ලෝක ආර්ථිකය තුළ ගැට‍ළු පවතින බවය.

එම ගැට‍ළුවට වහා විසඳුම් ලබා දිය යුතු බව අවධාරණය කළ ඔහු "පවතින ආර්ථික ක්‍රමවේදයෙන් වාසි ලැබෙන්නේ ලෝක ජනගහනයෙන් සියයට එකකට විතරයි. සියයට අනූ නවයක පිරිසකට වාසි ලැබෙනවාට වඩා ඒක සකස්වෙලා තියෙන්නේ අර සියයට එකක පිරිසට වාසි ලැබෙන විදියට. ලෝකයේ ප්‍රකෝටිපතියන් අට දෙනෙක් සතු වත්කම ලොවින් අඩක්වන සෙසු ජනතාව සතු වත්කමට සමාන වෙන්නේ ඒ නිසයි," යනුවෙන් පැවසීය.

ෆෝබ්ස් සඟරාව සහ දෙදාහ වසරේ සිට ලොව ධනය බෙදී ගොස් ඇති ආකාරය දැක්වෙන දත්ත වාර්තා මත පදනම්ව ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය සිය වාර්තාව සකසා තිබේ.ඔක්ස්ෆෑම් පුණ්‍යායතනයේ මැතිව් ස්පෙන්සර් විසින් ඇති නැති පරතරය ඉහළ යෑම හඳුන්වනු ලැබුවේ ලොව බෙදීමකට මුල් විය හැකි දේශපාලන ගැට‍ළුවක් ලෙසය.

"ඉහළ යමින් තිබෙන ඇති නැති පරතරය සහ අපේ දේශපාලන ක්‍රමවේදය තුළ පවතින බෙදීම් අතර සම්බන්ධයක් ඇති බවට පැහැදිලි සාක්ෂි තිබෙනව කියල මම හිතනවා. රටක සාර්ථකත්වයට සහ සමාජයට තමන්ගේ දායකත්වය ඉතා අඩුවෙන් ලැබෙන බවක් මිනිසුන්ට හැඟෙනවා. පවතින දේශපාලන තත්වය පිළිබඳ මිනිස්සු නොසතුටින් පසු වෙනවා," ඔහු කියා සිටියේය.

ඔක්ස්ෆෑම් පුණ්‍යායතනය විසින් ලොව ඉහළ යමින් පවතින ඇති නැති පරතරය හා සම්බන්ධ නවතම දත්ත එළි දක්වනු ලැබුවේ ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක ආර්ථික සමුළුව ආරම්භ වීමට දින කීපයක් තිබියදී.

ලෝක ආර්ථික සමුළුව

ඇති නැති පරතරය අවම කිරීම සඳහා විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ලෝක ආර්ථික සමුළුවට සහභාගී වන ලෝක නායකයන්ගෙන් මැතිව් ස්පෙන්සර් ඉල්ලා සිටියි.කෙසේ නමුත් ඇති නැති පරතරය ඉහළ යෑම සම්බන්ධයෙන් ඔක්ස්ෆෑම් ආයතනය නිකුත් කළ වාර්තාව ඇතැම් පිරිස්වල විවේචනයට ලක්වේ.

විද්වත් මණ්ඩලයක්වන ඇඩම්ස් ස්මිත් ආයතනයේ සමීක්ෂණ ප්‍රධානී බෙන් සවුත්වුඩ් කියා සිටියේ ලොව ප්‍රකෝටිපතියන් සතු ධනය පිළිබඳ අවධානය යොමු කිරීමට වඩා ලොව දුගී ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන සුබ සාධන කටයුතු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්වන බවය.

දුගී ජනතාව වෙනුවෙන් පවතින සුබ සාධන කටයුතුවල වර්ධනයක් සෑම වසරක් පාසා දැකිය හැකි බවත් ඔහු පැවසීය.

ලොව ඉහලින්ම පසුවන ප්‍රකෝටිපතියන් අට දෙනාගෙන් ඇතැම් පුද්ගලයෝ තම ධනයෙන් ප්‍රකෝටි ගණනක් සුබ සාධන කටයුතු සඳහා පරිත්‍යාග කරති.

2000 වසරේ දී මයික්‍රොසොෆ්ට් ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ විසින් ඇමරිකානු ඩොලර් කෝටි 4,400 ක පෞද්ගලික අරමුදලක් ආරම්භ කරනු ලැබීය.
මේ අතර තම ආයතනයේ ශුද්ධ ආදායමෙන් සියයට අනූවක් පරිත්‍යාග කරන බවට ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ 2015 වසරේදී ප්‍රතිඥා දුන්හ.

එවකට ෆේස්බුක් ආයතනයේ කොටස් මිල හා සැසඳීමේදී එම අරමුදල්වල වටිනාකම ඇමරිකානු ඩොලර් කෝටි 4,500කි.