ගෙදරක භාණ්‌ඩ ඉබේ ගිනි ගනියි

ගම්පොල අටබාගේ ග්‍රාම සේවා වසමට අයත් උමගිරි උයන ප්‍රදේශයේ නිවසක්‌ තුළ තැන් තැන්හි ඉබේ ගිනි ජාලාවක්‌ හට ගන්නා බවට ලැබී ඇති පැමිණිල්ලක්‌ පිළිබඳව ගම්පොල පොලිසිය පරීක්‌ෂණ අරඹා තිබේ. 

භූත දොaෂයක්‌ නිසා මෙම ගිනි මතු වන බව නිවැසියන් විශ්වාස කරන අතර, එය දින කිහිපයක්‌ පුරාම පවතින බව පැමිණිල්ලේ සඳහන් වේ. මේ වන විට නිවසේ ඇඳන් මෙට්‌ට, පුටු කවර, අල්මාරි තුළ හා විවිධ ස්‌ථානවල ඇති රෙදි ඉබේ ගිනි ගන්නා බව නිවැසියෝ ප්‍රකාශ කර සිටිති.
මෙම නිවසේ පෙදරේරු රැකියාව කරන සැමියා, බිරිඳ හා කුඩා දරු දෙදෙනකු ඇතුළු කීප දෙනකු සිටින අතර, වැඩි වශයෙන්ම කුඩා දරුවන්ගේ රෙදි ගිනි ගන්නා බව සඳහන්ය.

මේ වන විට නිවැසියන් දේවාල හා කට්‌ටඩියන් පසුපස යමින් මෙයට සහනයක්‌ ඇති කර ගැනීමට උත්සාහ ගෙන තිබුණද එය අසාර්ථක වී ඇති බව පැවසේ. හිටි ගමන් නිවසේ ඇති වන දුර්ගන්ධයක්‌ සමඟ රෙදි පිළිස්‌සෙන බවත් කොයි ආකාරයෙන් සිදු වෙනවාද යන්න සොයා ගැනීමට නොහැකි බවත් නිවැසියෝ පවසති. 

වසර 20 කට වඩා පැරණි මෙම නිවස තුළ කිසිවෙකු මියගොස්‌ නොමැති බවත් පවසන ගෘහ හිමියා මෙය විස ගත නොහැකි ගැටලුවක්‌ වී ඇති බවත් පවසයි. ඇති වී තිබෙන මෙම තත්ත්වයත් සමඟ අවට ගම්වැසියන් මෙය නැරඹීමට පැමිණීම වළක්‌වාලීම සඳහා මෙම නිවස ඉදිරිපිට "මෙය නැරඹීමට පැමිණීමෙන් වළකින්න, පොලිසිය හැර" යනුවෙන් දැන්වීම් පුවරුවක්‌ද සවිකර ඇත. 

ගම්පොල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක උපාලි යාපා මහතාගේ උපදෙස්‌ මත විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පො. ප. ගමනායක මහතාගේ උපදෙස්‌ මත (30382) පො. කො. සසිත මහතා මෙම නිවසට ගොස්‌ පරීක්‌ෂණ පැවැත්වීම අරඹා තිබේ.