ඩේසි ආච්චිට ඇප

අයථා ලෙස රුපියල් මිලියන 36ක මුදලක් යොදවා දෙහිවල ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේ සිදුවීමකට අදාළව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මව වන ඩේසි ෆොරස්ට් මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද(09) නියෝග කළේය.

ඒ අනුව මුදලින් රු.25,000ක ඇපයක් සහ රු.ලක්ෂ 15 බැගින් වන ශරීර ඇප දෙකක් මත ඇය මුදාහැරීමට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුව යළි මැයි 19 වන දින කැඳවීමට නියෝග කළේය.
කෙසේ වෙතත් ඩේසි ෆොරස්ට් මියගෙන් තව දුරටත් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අධිකරණයෙන් කළ ඉල්ලීම මෙහිදී ප්‍රතික්ෂේප වී තිබේ.

අද දිනයේ අධිකරණයට කරුණු දක්වමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් පවසා සිටියේ අධිකරණයේ නියෝග මත අගෝස්තු 31 වන දින ඩේසි ෆොරස්ට් යන අයගෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි.

ඉන් පසු අවස්ථා 6කදී ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇය කැඳවනු ලැබුවත් ඇය නොපැමිණි බවත් ඒ අනුව විමර්ශන සඳහා ඇයගෙන් නිසි සහයක් නොලැබුණු බවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙන්වා දී තිබේ.

එසේම මෙම සිද්ධියට අදාළව විමර්ශන අවසන් කර ඇති බවත් ඒ පිළිබඳ උද්ධෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවත් පොලීසිය විසින් සඳහන් කර තිබේ.

ඒ අනුව අතිරේක මහේස්ත්‍රාත්වරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් විමසා ඇත්තේ විමර්ශන අවසන් කර ඇත්නම් ඒ පිළිබඳ තවදුරටත් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබීමට අවසර ඉල්ලන්නේ මන්ද යන්නය.

එබැවින් පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඩේසි ෆොරස්ට් යන අය මෙම නඩුවේ සාක්ෂිකාරියකද, එසේත් නැතිනම් මෙම වරදට ආධාර හෝ අනුබල දුන් අයෙක්ද යන්න පොලීසිය විසින් නිවැරදිව සඳහන් කළ යුතු බව ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළ සැබෑ වංචනිකයින් වසං කිරීමට උත්සාහයක් පවතීද යන්න සැකයක් පවතින බව පෙන්වාදී ඇති මහේස්ත්‍රාත්වරයා තම ආච්චි වෙනුවෙන් ඇප ලබාදීමට පැමිණි යෝෂිත රාජපක්ෂ යන අයගේ ශරීර ඇප පිළිගත නොහැකි බව ද අවධාරණය කර තිබේ.