හිරුණිකා රෝහලේ - නඩුවටත් නොඑයි

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලක සේවය කළ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී, සාපරාධී ලෙස බියගන්වන ලද බවට චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටීම හේතුවෙන් එම නඩුවේ විභාගය අප්‍රේල් 26 වැනිදා දක්වා කල් තැබීමට  කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (10දා) නියම කළේය.

මෙම නඩුවේ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ මුත් මෙහි ප්‍රධාන විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය නොමැති වීම හේතුවෙන් නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා තීරණය කළේය.

නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රමහත්මිය හැර සෙසු විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායිකාව රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතකොට ඇති බව කියා සිටි අතර, ඇගේ රෝගී තත්ත්වය හේතුවෙන් අද දින අධිකරණයට පැමිණීමට නොහැකි වූයේ යැයි කියමින් වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගයන් කළ විනිසුරුවරයා මෙම පැමිණිල්ල ලබන අප්‍රේල් 26 වැනිදා යළි කැඳවීමට නියම කළේය.