8 හැවිරිදි දැරිය බිත්තියකට යටවී මරුට

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ 8 හැවිරිදි දැරියක්‌ නිවසේ අලුතින් තනා තිබූ බිත්තියකට යටවී මරුමුවට පත් වී තිබේ.

පෙරේදා (9 වැනිදා) සවස 5.00 ට පමණ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ හෝමාගම, පිටිපන, ගබඩාවත්ත 3 පදිංචිව සිටි රාජපක්‍ෂ මොහොට්‌ටිගේ සෞභාග්‍යා මුතුමාලි නමැති දැරියකි.


ඇගේ පියා විසින් නිවසේ සාලයක්‌ තැනීම සඳහා ඔහු විසින් බ්ලොක්‌ ගල්වලින් අඩි නවයක්‌ උසට බිත්තිය බැඳ තබා තිබී ඇත. පියා යුද හමුදාවේ සිවිල් නිලධාරියකු ලෙස කටයුතු කරන අතර ඔහු නිවසේ කටයුතු ඉඩ ලැබෙන පරිදි සිදුකර ඇතැයි හෙළිවිනැයි පොලිසිය කීය.

මෙම අවාසනාවන්ත සිද්ධිය වී ඇති පෙරේදා සවස මියගිය දැරිය බ්ලොක්‌ ගල්වලින් බැඳි බිත්තිය අසල රැඳී සිටිමින් සෙල්ලම් කරමින් සිට ඇත. ඇගේ වැඩිමල් සොයුරාද එම බිත්තියට ටිකක්‌ එහායින් මාළු ටැංකියක්‌ සෑදීමට පොළොව හාරමින් සිටියදී මෙම බිත්තිය කඩාවැටී ඇති අතර එහිදී දැරිය එම බිත්තියට යටවී ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

පසුව බිත්තියට යටවී සිටි දැරිය ඉවතට ගෙන හෝමාගම රෝහලට රැගෙන ගිය ද ඇය ඒ වන විටත් මියගොස්‌ සිටි බව පොලිසිය කියයි.

මියගිය දැරියගේ මරණ පරීක්‍ෂණය හෝමාගම රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක බී. එම්. කේ. චින්තක උදයකුමාර මහතා විසින් පවත්වනු ලැබීය.

මේ පිළිබඳව හෝමාගම මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ඡේ. කේ. ජී. හේවගේ මහතාගේ උපදෙස්‌ මත විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක දයානන්ද මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ කොස්‌තාපල් අනුර ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.