තිබුණත් නොදැනෙන අධික රුධිර පීඩනය

අධි රුධිර පීඩනය එහෙමත් නැත්නම් හයි බ්ලඩ් ප්‍රෙෂර් (High Blood pressure) අද ලෝකයේ බහුලව හමුවන රෝගී අවස්ථාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට ගණන් බලා ඇති ආකාරයට ලෝක ජනගහනයෙන් 1/4ක්ම අධික රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙති. එසේම 2025 දී එය සියයට 29 දක්වා ඉහළ යනු ඇතැයිද විශ්වාස කෙරේ. 2020 දී ලොව ප්‍රධානම මරණ සාධකය අධි රුධිර පීඩනය වනු ඇති බවටද ඔවුන් මතයක් ඉදිරිපත් කර ඇත.

මෙම රෝගය සම්බන්ධයෙන් අප කළ කරුණු විමසීමකදී බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ වි‍ශේෂඥ වෛද්‍ය නයනා ලියනගේ මහත්මිය අප සමඟ පැවසූයේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 15ක් පමණ හෘද රෝගවලින් මියයන අතර ඒ සියයට 15න්ද සියයට 79 - 80ක්ම අධික රුධිර පීඩනය නිසා සිදුවන මරණ බවයි. ඇය වැඩිදුරටත් මෙසේ පවසයි.

ඇත්තටම වර්තමානයේ අධික රුධිර පීඩනය කියන්නේ බහුල වූ රෝගී තත්ත්වයක්. සාපේක්ෂව කාන්තාවන්ට වඩා පුරැෂ පක්ෂය අධික රුධිර පීඩනයට ගොදුරු වීමේ ප්‍රවණතාවය වැඩියි. බොහෝ දෙනෙක් මෙම රෝගයෙන් පෙළුණත් රුධිර පීඩනය පරීක්ෂා කර නොගන්නා නිසා තමාට මෙවැනි රෝගයක් ඇති බව දන්නේ නෑ. සමහරු දැනගත්තත් ප්‍රතිකාර ලබාගැනීමට සැලකිලිමත් වෙන්නෙත් නෑ. මේ නිසා අවදානම් තත්ත්වයක් මතුවෙන්න පුළුවන්.

කාන්තාවන්ට වඩා පිරිමින්ට හැදෙනවා

රුධිර පීඩනය යනුවෙන් අදහස් කරන්නේ හෘදය වස්තුව සංකෝචනය වීමේදී හා ඉහිල් වීමේදී ප්‍රධාන ධමනි බිත්ති මත රුධිර ධාරාව මගින් ප්‍රේරණය කරනු ලබන පීඩනයයි. රුධිර පීඩනය මැනීමේදී අගයන් දෙකක් ගනු ලැබේ. නවීන විද්‍යා මතය අනුව ඒ අගයන් දෙක වන්නේ හෘදය සංකෝචනය වන විට රුධිර ධමනි මත රුධිර ධාරාව ප්‍රේරණය කරන පීඩනය හා හෘදය සංකෝචන දෙකක් අතරමැද විවේක අවස්ථාවේදී ධමනි බිත්ති මත රුධිර ධාරාව මගින් ඇති කරන පීඩනයයි. මෙහි සාමාන්‍ය අගය 120/80 (mmHg) වන අතර මෙම අගයන් මේ මට්ටමින් හෝ ඊට පහළ මට්ටමින් පවත්වා ගැනීම නිරෝගීව සිටීමට උපකාරවේ. මෙම අගය 140/90 (mm Hg) ට වඩා වැඩි වුවහොත් එය අධික රුධිර පීඩන තත්ත්වයකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව විශේෂඥ වෛද්‍ය නයනා ලියනගේ මහත්මිය අධික රුධිර පීඩනය විස්තර කරන්නේ මේ ආකාරයටය.

ආයුර්වේද ක්‍රමවේදයට අනුව සිරුරේ වාත, පිත්ත, කප කියන ත්‍රිදෝෂවලින් එකක් හෝ කිහිපයක අසමතුලිත වීමෙනුයි යම් රෝගයක් හටගන්නේ. මෙම දෝෂ තුනම සමතුලිතව පවතින්නේ නම් ඔහු නිරෝගී පුද්ගලයෙක්. මෙම ත්‍රිදෝෂ අතරින් වාතය කියන දෝෂයෙන් කෙරෙන්නේ ඕනෑම දෙයක ගමනාගමන සැලසීමයි. ලේවල ගමනාගමනයටත් හේතුව වෙන්නේ වාතයේ තිබෙන ක්‍රියාරීත්වයයි.

ආයුර්වේදයේ වාත, පංච වාත කියන කොටස් පහකින් සමන්විත වෙනවා. ඒ අතරිනුත් ව්‍යාන වාතය මගිනුයි. ශරීරය පුරා ගමන්කරන රුධිරය තල්ලු කිරීම සිදුකරෙන්නේ. එහි අසමතුලිතතාවය නිසයි මෙවැනි රෝග තත්ත්වයන් මතුවන්නේ.

ඔබට රෝගය පාලනය කළ නොහැක්කේ
යම් පුද්ගලයෙකු හට අධික රුධිර පීඩනය ඇති නෑදෑයන් සිටී නම්, එම රෝගය ඔහුටද වැළඳීමේ ඉඩකඩ ඇත. ඊට අමතරව නිවුන්නු අතර අධික රුධිර පීඩනය වැඩි බවත්, එක සමාන නොවන නිවුන්නු අතර එසේ සිදුවීමට ඇති ඉඩකඩ අඩු බවත් සොයාගෙන ඇත.

අධික රුධිර පීඩනය හටගන්නේ
අධික රුධිර පීඩනය හටගැනීම සඳහා ආහාර පාන, වැරදි විහරණ රටා, මානසික හේතු ඇතුළු තවත් බොහෝමයක් හේතු බලපායි.

ආහාර පාන ගත්විට ලුණු අධික ආහාරයට ගැනීම, තෙල් අධිකව ආහාරයට ගැනීම, අජීරණය හා අජීරණය පවත්වාගෙන යාම, තේ, කෝපි වැඩිපුර පානය, බුලත් විට, (දුම්කොළ ආදිය සමඟ), මත්පැන්, දුම්වැටි, ක්ෂණික ආහාර, මස්, බිත්තර, සීනි වැඩිපුර ආහාරයට ගැනීම, ආහාර සඳහා රසකාරක එක්කර ගැනීම, අවශ්‍ය ප්‍රමාණයට පළතුරු, එළවළු ආහාරයට නොගැනීම, කෘත්‍රිම බීම වර්ග පානය, කෘත්‍රිම ආහාර රටාව, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර පාන ලබාගැනීම ආදිය හේතුවේ.

ව්‍යායාම නොකර සිටීම හා අධිකව ව්‍යායාමවල යෙදීම, වැඩ බහුල වීම, අවිවේකී වීම, නින්ද අඩුවීම, වේගයෙන් හා උස්හඬින් කතා කිරීම, තරබාරු ආදිය රෝගය හටගැනීම සඳහා ඇති පැවැත්මේ වැරදි කිහිපයකි. එසේම වයසට යෑමත් සමඟ රුධිර පීඩනය වැඩිවීමද සිදුවේ.

ටෙලිනාට්‍යයත් එක හේතුවක්

රෝගය සඳහා බලපාන මානසික හේතූන් වන්නේ ක්‍රෝධය හා ක්‍රෝධය දිගු කාලීනව පවත්වාගෙන යෑම, ඊර්ෂ්‍යාව, තරහා, මානය, අවේගශීලී වීම, මනස විවිධ විතර්කවලින් පුරවාගෙන සිටීම, මානසික ආතතිය ආදියයි. විශේෂයෙන්ම අප එදිනෙදා නරඹන ටෙලිනාට්‍ය සිදුවන සිද්ධීන් එතැනින් අමතක නොකර දිගින් දිගිටම ඒ ගැන සිතීමද අධික රුධිර පීඩන ඇතිවන්නට බොහෝවිට බලපාන්නකි.

අධික රුධිර පීඩනය සඳහා බලපාන අනෙකුත් හේතු සාධක ලෙස පාරම්පරිකව එනම් ජානවලින් රෝගය පැතිරීමේ ඉතිහාසයේ පවුල තුළ තිබීම, හෝමෝන අසමතුලිතතාවය, වෙනත් රෝග එනම් වකුගඩු රෝග, දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල්, ගර්භනී කාලයේදී මතුවිය හැකි තත්ත්ව ආදිය ගත හැකිය. මීට අමතරව අප ලබාගන්නා ඇතැම් ඖෂධ වර්ගද මෙම රෝගය කෙරෙහි බලපෑහැකිය. වේදනා නාශක ඖෂධ ඉන් එක් වර්ගයකි.

ඔබට අධික රුධිර පීඩනය ඇත්නම්
අධික රුධිර පීඩනයෙන් පෙළෙන බොහෝ පිරිසක් සමාජයේ ජීවත්වූවද එයින්ද තමා රෝගියකු බව දන්නේ අඩු පිරිසකි. විවිධ වූ රෝග ලක්ෂණවලින් පෙළුණද ඒ සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් නොමැති නිසා ඔවුන් ප්‍රතිකාර ලබාගන්නට සැලකිලිමත් වන්නේද නැත. එබැවින් පහත රෝග ලක්ෂණවලින් පෙළෙන්නේ නම් ඔබට ඒ සම්බන්ධයෙන් යම් අනුමානයක් ලබාගත හැක. තද හිසරදය, හිස පිටුපස වේදනාව, වමනය, කරකැවිල්ල, නිදිමත ගතිය, මානසික ව්‍යාකූල බව, හුස්ම ගැනීමේ අපහසුතාව, පපුව ප්‍රදේශයේ වේදනාව, හෘදයේ ගැස්ම වැඩිපුර දැනීම, සුළු වැඩක් කිරීමේදී පවා අධික වෙහෙස, සිහි මුර්ජා වීම, ඇස් බොඳවී යාම, වැනි රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම් ඔබ අධික රුධිර පීඩනයේ පෙළෙන රෝගියකු වන්නට පුළුවන.

අධික රුධිර පීඩනය නිසාම හටගන්නා රෝග
අධික රුධිර පීඩනය යනු තවත් රෝග කිහිපයකටම කෙරෙන අතවැනීමකි. මෙහි අවදානම් සහගතම තත්ත්වය වන්නේ අංශබාග එනම් පක්ෂඝාත තත්ත්වයට පත්වීමයි. එසේම හෘදයාබාධ, වකුගඩු දුර්වල වීම, හෘදය දුර්වල වීම, ඇස් පෙනීම දුර්වල වීම හා රුධිර නාලවල හටගන්නා දුර්වලතාවයන් මේනිසා හටගත හැක.

පක්ෂඝාතය ඇතිවන්නේ අධික රුධිර පීඩනයට ප්‍රතිකාර නොකිරීම හෝ හරිහැටි ඖෂධ නොගැනීම නිසාය. රුධිර පීඩනය නිසි ආකාරයේ පවත්වා ගතහොත් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ගෙන් මිදිය හැකිය.

අධික පීඩනයක් රුධිරයේ දිගින් දිගටම පැවැතීම නිසා හදවත ක්‍රමයෙන් දුර්වලවේ. මේනිසා හෘදයේ ඒ විඩාවට පත්වීමත්, හෘද බිත්ති ඝණවීමත් සිදුවිය හැකිය. හෘදය අක්‍රීය වීමට පටන්ගන්නේ මේ හේතූන් නිසාය. කොලෙස්ටරෝල් වැඩිවීම නිසාද රුධිර වාහිනී බිත්ති අවහිර වීමෙන් රුධිර පීඩනය තවතවත් වැඩිවේ. එයින් හෘදයටත්, මොළයටත් අහිතකර බලපෑම් ඇතිවේ.

සිරුරේ සෑම ක්‍රියාවන්ම සිදුවන්නේ යම් පීඩනයක බලපෑමෙනි. මෙම පීඩනයේදී සුළු වේගවත්කමකදී පවා ඒ ඒ ඉන්ද්‍රීය ඒ සඳහා ප්‍රතිචාර දක්වයි. වකුගඩුවල මුත්‍රා පෙරීම සිදුවන්නේද යම් පීඩනයකට අනුවය. අධික රුධිර පීඩන කාලය පැවතීමෙන් සිදුවන්නේ එම ක්‍රියාවන් නිසිපරිදි සිදුනොවීමයි. එහිදී ක්‍රම ක්‍රමයෙන් වකුගඩු අක්‍රිය භාවයට පත්වී වකුගඩු රෝගියකු නිර්මාණය වේ.

රුධිර වාහිනී පුපුරා යාමද අධික රුධිර පීඩනය නිසා සිදුවන්නකි. ශරීර අභ්‍යන්තරයේ සිදුවන රුධිර වාහනවලට ප්‍රධාන හේතුව ලෙස ගැනෙන්නේද අධික රුධිර පීඩනයයි. මෙවැනි අවස්ථාවකදී රෝගියා මිය යාමටද ඉඩකඩ ඇත. එමෙන්ම අධික රුධිර පීඩනය නිසා ඇස්වල දාෂ්ඨි විතානයෙහි රුධිර වාහිනී පුපුරා විනාශවීමටද ඉඩකඩ ඇත. එනම් අධික රුධිර පීඩනය යනු අන්ධ භාවය ඇතිකිරීමටද ප්‍රධාන ලෙසින්ම බලපාන සාධකයකි.

අධික රුධිර පීඩනයන් ඇතිවීමට ඉඩදී ඉන්පසුව එය මර්දනය කිරීමට පියවර ගැනීම සැබැවින්ම අඥානකමකි. එබැවින් බාලවියේ පටන් සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක් අනුගමනය කිරීම අප කාගේත් ඉලක්කය විය යුතුය. අද පටන්ම යම් යම් දේවල් ගැන පරෙස්සම් වීම අනාගතයේ වඩාත් ඉහළ ජීවන ගුණයකට හේතුවනු ඇත.

දුම්පානය නිසා ධමනි සිහින්වීම, දියවැඩියාව, හෘදයාබාධ හා ආඝාතය වැනි රෝග ඇතිවීමේ අවදානම වැඩිවේ. එමනිසා දුම්පානය සහ අධික රුධිර පීඩනය මරාන්තික මිශ්‍රණයයි. මේ දෙකේදීම හෘද රෝගවලට මගපෑදිය හැකිය. එමගින් කෝපි, තේ සහ කෝලා බීමවල අඩංගු කැරොටිනේන්ද චිත්ත වේගය හා ශරීරික පීඩන (ආතතිය) මෙයට රුධිර පීඩනයද වැඩි කිරීමට හේතු කාරක විය හැක. මීට අමතරව මත්පැන් අධික ලෙස පානය කිරීම හෝ ඊට ඇබ්බැහි වීම නිසාත්, ශාරීරික ව්‍යායාම ඌණතාවත් නිසාත් රුධිර පීඩනය වැඩිවිය හැකි අතර ඒ සෑම දෙයකින්ම හැකි තරම් දුරට ඈත්විය යුතුය. ආහාර ගන්නා විට මේද සහිත ආහාර සහ ලුණු වැඩි ආහාර අඩු කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි. (දිනකට සාමාන්‍ය පුද්ගලයකුට අවශ්‍ය වන්නේ 5g - 6gක ලුණු ප්‍රමාණයකි.) විශේෂයෙන්ම ආහාර පිසීමේදී ලුණු අඩුවෙන් එක්කර ඒ වෙනුවට ගෙදර දී සාදාගත් තුනපහ වැඩිපුර යෙදීම උචිතය.

ආහාර - පරිසරය හුඟක් වැදගත්

ශරීරයේ බර අඩුකර ගැනීම මගින්ද අධික රුධිර පීඩනය පාලනය කරගත හැකිය. දිනකට ආහාර වේල් දෙකක් පමණක් ප්‍රමාණවත් වන අතර රාත්‍රියට ඖෂධ ලබාගන්නවානම් හෝ අත්‍යවශ්‍යනම් පමණක් සුළු ආහාරයක් ලබාගත හැකිය. රුධිර පීඩනය 130/80mmHg අතර පවත්වා ගැනීමට උත්සාහ කිරීමද වැදගත්ය. මේ සියල්ලට අමතරව භාවනාවද අධික රුධිර පීඩනය පාලනය කර ගැනීමට හොඳ ඖෂධයකි.

ගෙදර තිබෙන ඖෂධ
සුදු ලූණු, තම්බාගත් කුඹුක් පොතු, අමු නෙල්ලි යුෂ මෙම රෝගය සඳහා ගෙදරදීම ලබාගත හැකි හොඳ ඖෂධයන්ය. එසේම යොදය සහිත කිරි, මුංඇට, බෝංචි ඇට, කොත්තමල්ලි කොළ, මුරැංගා කොළ ආහාරයට එක්කර ගැනීමද වටී.

ප්‍රතිකාර ලබාගැනීමේදී
අධික රුධිර පීඩනය සඳහා ඖෂධ ලබාගැනීමේදී නියමාකාරව ක්‍රමානුකූලව එය ගත යුතුය. තමන්ගේ හිතුමතය පරිදි ඖෂධ ගැනීමත්, ප්‍රමාණ අඩු වැඩි කිරීමත්, නතර කිරීමත් නොකළ යුතු අතර ඒ සඳහා සුදුසු වෛද්‍යවරයකුගේ උපදෙස් මත ක්‍රියාකළ යුතුය.

මෙහිදී සැලකිය යුතු විශේෂිතම කරුණ වන්නේ ඔබ විසින් යම් රෝගයක් සඳහා ඖෂධ ගැනීමේදී ඔබ ජීවිතාන්තය දක්වා රෝගියෙක් යන සංකල්පය වැළඳගෙන තුන් වේලටම ඖෂධ ගැනීම පමණක්ම ජීවිතය කර නොගත යුතු බවයි. තදබල රෝග හේතු ඔබ සතුව නොපවතින්නේ නම් ඇතැම් විට කෙටි කලක් ඖෂධ ගෙන ඔබට ඒවා නතර කළ හැක. ඒ සඳහා වඩාත්ම වැදගත් වන්නේ ඔබේ ආහාර රටාව, කායික මානසික ස්වභාවය, ඔබේ අවට පරිසරය ආදියයි. රෝග හේතුකාරක නොසපයන විට රෝගයකට පෝෂණය වීම සඳහා පසුබිමක් නොසැපයේ. එය රෝගය සිඳී යාමට පදනමයි.

♦ හේමමාලා කුමාරි රාජකරුණා