ලංකාවෙ ක්‍රිකට්‌ සංචිතයට අලුතින් 9ක්‌

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන විස්‌සයි විස්‌ස සහ එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ඉලක්‌ක කර ගනිමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් නව දෙනකු දකුණු අප්‍රිකාව බලා පිටත්කර යෑවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් අදාළ සංචිතය සඳහා ඊයේ (10 දා) සවස්‌වනතුරුත් ක්‍රීඩා ඇමැතිගේ අනුමැතිය නොලැබී තිබුණි.

එක්‌දින සහ විස්‌සයි විස්‌ස සංචිතයට චිලව් මේරියන්ස්‌ කණ්‌ඩායම නියෝජනය කරන 23 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයකු වන තික්‌ෂිල ද සිල්වා ඇතුළත් කර තිබේ. තික්‌ෂිල දකුණතින් පන්දු යවන අතර වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයෙකි. පළමු පෙළ විස්‌සයි විස්‌ස තරග 17 ක්‌ නියෝජනය කර ඇති තික්‌ෂිල එහිදී කැපී පෙනෙන දක්‍ෂතා දක්‌වා නොතිබුණද තරගාවලිය ඉලක්‌ක කරමින් පැවැති පුහුණු තරගවලදී ඔහු දැක්‌වු දක්‍ෂතා හේතුවෙන් කණ්‌ඩායමට ඇතුළත් කර තිබේ. තික්‌ෂිල ද සිල්වා කොළඹ මහින්ද විදුහලේ ආදි සිසුවෙකි.

මීට අමතරව ඉසුරු උදාන යළිත් ශ්‍රී ලංකා කණ්‌ඩායමට කැඳවා ඇති අතර ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්‌සයි විස්‌ස තරගයකට ඉකුත් 2016 වසරේ ජනවාරි මාසයේදී සහභාගි වී තිබේ. ඒ නවසීලත්යට එරෙහිවය.

දකුණු අප්‍රිකාවේ ටෙස්‌ට්‌ තරගාවලියට සහභාගි වු නව දෙනකු වෙනුවට නම් කරන ලද ක්‍රීඩකයන් නව දෙනකු පිටත් කර යවන අතර අදාළ සංචිතය විස්‌සයි විස්‌ස සහ එක්‌දින තරග දෙඅංශයටම නම් කර ඇතැයි සඳහන් වේ.

දකුණු අප්‍රිකානු විස්‌සයි විස්‌ස සහ එක්‌දින තරගයට අලුතින් ඇතුළත් වන ක්‍රීඩකයන් වනුයේ තික්‌ෂිල ද සිල්වා, අසේල ගුණරත්න, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරණ, ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිල, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන වේ.

වාර්තා වන අන්දමට දිගින් දිගටම අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරාට කණ්‌ඩායමේ ස්‌ථානය අහිමි වී තිබේ.

දෙරට අතර පළමු විස්‌සයි විස්‌ස තරගය ලබන 20 වැනිදාත් දෙවැන්න 22 වැනිදා සහ තෙවැන්න 25 වැනිදා පැවැත්වේ. අනතුරුව තරග පහකින් සමන්විත එක්‌දින තරගාවලියේ පළමු තරගය 28 වැනිදා ආරම්භ වේ.

ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස සහ එක්‌දින සංචිතය

(නිල නොලත්)

ඇන්ජලෝ මැතිව්ස්‌ (නායක), දිනේෂ් චන්දිමාල් (උපනායක), කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, උපුල් තරංග, සුරංග ලක්‌මාල්, අසේල ගුණරත්න, තික්‌ෂිල ද සිල්වා, සීකුගේ ප්‍රසන්න, සචිත් පතිරන, ලක්‍ෂාන් සඳකැන්, නිරෝෂන් දික්‌වැල්ල, ධනුෂ්ක ගුණතිලක, නුවන් කුලසේකර සහ ඉසුරු උදාන