හෘදයාබාධයක්‌ හඳුනා ගන්නේ කෙසේද?

උරස්‌ කුහරයේ හදවතට අමතරව නොයෙක්‌ ඉන්ද්‍රියයන් පිහිටා තිබේ. උදාහරණයක්‌ ලෙසට පෙනහලු, පෙනහලු අවට ප්‍රාවීරයන්, මහා ප්‍රාචීරය, කශේරුකා, පර්ශු සහ මාංශ පේශි යන ලෙසිනි. මේවායේ යම් වේදනාකාරී තත්ත්වයක්‌ මතුවීමේ හැකියාව තිබේ.

මේවාට අමතරව උදර කුහරයේ ඇති ඉන්ද්‍රියයන් වන පිත්තාශය සහ ආමාංශයේ තිබෙන වේදනාකාර තත්ත්වයන් උරස්‌ කුහරයට සම්ප්‍රේෂණය විය හැක. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ ඇතිවන වේදනාවන් පිළිබඳ ඉතා කල්පනාකාරීව තෝරා බේරාගත යුතුය. සෑම වේදනාවක්‌ම පපුවේ වේදනාවක්‌ ලෙසට පටලවා නොගත යුතු= වන්නේ ඒ නිසාය. වෛද්‍ය පරීක්‍ෂාවක්‌ මඟින් ඒ පිළිබඳ සැකහැර දැනගත හැකිය.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 45 වැඩි පුද්ගලයකුට පපුවේ මැද තද කරන්නාවූ, බරක්‌ තිබෙන්නාවූ හෝ දැවිල්ලක්‌ දැනේනම් තැති ගැන්මකදී, තරහකදී, බර ඉසිලීමකදී හෝ කන්දක්‌ නැගීමේදී වේදනාවක්‌ දැනේ නම් එය සාමාන්‍යයෙන් හදවතින් පටන්ගන්නා ඇන්ජයිනා රෝගය ලෙස හැඳින්විය හැක. මෙම වේදනාව නිරත වූ ක්‍රියාව නතර කිරීමත් සමඟ නැවතී යනු ඇත. මෙය හෘදයාබාධයක පෙර නිමිත්ත ලෙසින් දැක්‌විය හැකිය.

හදවත වටා හදවතට රුධිරය සපයන ප්‍රධාන කිරීටක නාල දෙක අප උපදින විට ඉතාම සිනිදුව පවතින අතර අපගේ වැරදි ගති පැවතුම් නිසා එනම් දුම්පානය, අධික තෙල් ආහාර ගැනීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව, ව්‍යායාම අඩුකම, මානසික ආතතිය යන කරුණු කාරණා හේතුකොට නාල ඇතුළත තෙල් බැඳීමක්‌ විය හැක.

මෙම තෙල් බැඳීම කාලයක්‌ ගතවීමේදී වැඩි දියුණු වී 80% ක්‌ පමණ කිරීටක ධමනි අවහිර වූ විට අප කලින් සඳහන් කළ ඇන්ජයිනා රෝගය වැළඳීමට පුළුවන. වෙහෙසකදී, තරහවකදී වේදනාව දැනෙන්නේ ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවීම නිසාය. වේදනාවක්‌ දැනීමක්‌ සමඟ වෙහෙසකර කාර්ය නවතා දැමිSමේදී යථා තත්ත්වයට පත්වනු ඇත.

ඇතැම් විටෙක මෙම තෙල් ස්‌ථර හදිසියේ පුපුරා යැම නිසා කිරීටක ධමනි අවහිරතාවයක්‌ වුණි නම් එම නාල හරහා රුධිර ගමන සම්පූර්ණයෙන්ම නවතින අතර මෙය හෘදයාබාධයක්‌ නොහොත් මයෝකාඩියල් තත්ත්වයට ගොදුරු වීමකි.

එමනිසා මෙම කරුණු කාරණා අනුව වැරදි ගති පැවතුම් වලින් ඈත් වී හැකිතාක්‌ නිවැරදි ජීවන රටාවකට යොමුවීම තුළ ඇන්ජයිනා තත්ත්වයෙන් මෙන්ම හෘදයාබාධයකින් ගැලවී ගැනීමේ හැකියාව ළඟා කර ගැනීම අපහසු නොවනු ඇත.

හෘදයාබාධයක්‌ හඳුනා ගන්නේ කෙසේද?

පපුව මැද කැක්‌කුම ඇතිවේ. නාභියේ සිට යටි හකු දක්‌වා වේදනාව දෙපසින්ම විහිදී දැත්වල බාහු ඇතුළු පැත්තෙන් වේදනාව ඇඟිලි දක්‌වා පහළට ගමන්කරනු ඇත. වේදනාව පුංචි ඇඟිල්ල දක්‌වා විහිදෙනු ඇත.

මෙම වේදනාව වචනයෙන් විස්‌තර කළ නොහැකි තරමේ වේදනාවකක්‌ වන අතර හෘදයාබාධයක්‌ නොවේ නම් වේදනාව විනාඩි කිහිපයකින් පහව යන අතර හෘදයාබාධයක්‌ නම් වේදනාව දිගටම පවතිනු ඇත. යටි හකුවල වේදනාව පිළිබඳ දන්ත වෛද්‍යවරුන් වෙත යොමුවීමක්‌ දක්‌නට ලැබෙන අතර එවැනි රෝගීන් දන්ත වෛද්‍යවරුන් වෙතින් හෘද රෝග වෛද්‍යවරු වෙත යොමුකරනු ඇත.

තවද මෙම වේදනාව සමඟ දහඩිය දැමීම, හුස්‌ම ගැනීමට අපහසු බව, ක්‌ලාන්ත ගතිය, මළ පහ මුත්‍රා පිටකිරීමේ වුවමනාව ඇතිවන අතර මෙම ලක්‍ෂණ ඇති වූ වහාම රෝහලක්‌ වෙත රෝගියා රැගෙන යැම අනිවාර්යය. අදටත් ඇතැම් අය පපුවේ වේදනාවක්‌ දැනීමේදී සුදු ලූනු, ඉඟුරු, ගම්මිරිස්‌ තම්බා බීමට පුරුදු වී සිටින අතර මෙවැනි අත්බෙහෙත් වලට යොමු නොවී වහාම රෝහල්ගත වීම තුළින් ජීවිතය ආරක්‌ෂාකර ගත හැකි බව අමතක නොකළ යුතුය.

පළමුවරට හෘදයාබාධයක්‌ හැදුණු සිය දෙනෙක්‌ ගෙන බැලීමේදී එයින් දහයක්‌ පමණ පළමු පැය 24 තුළ මිය යැමේ ප්‍රවණතාවයක්‌ ඇතිබව දැනගැනීමට තිබේ.

එම තත්ත්වය මඟහරවා ගත හැකි වන්නේ රෝගියා රෝහලක්‌ තුළ සිටීනම් පමණක්‌ බව අමතක නොකරන්න.

හදවතේ කිරීටක ධමනි අවහිර වූ විට ඇතැම් රෝගීන්ගේ හදවත පණු ගුලියක්‌ මෙන් දැඟලීමට පටන් ගන්නා අතර එම තත්ත්වය වෙන්ටි්‍රකියුලර් ෂිබ්රිලේෂන් යන රෝගී තත්ත්වය ලෙසින් හැඳින්වේ. මෙයට ප්‍රතිකාර කළ හැකි වන්නේ රෝහලකින් පමණි.

හදවතට කෘත්‍රිම ආකාරයට විදුලිය ලබාදීම තුළින් මෙම තත්ත්වය සමනයකර ගත හැකි වන අතර ඒ සඳහා රෝහලක සිටිය යුතු වන්නේ කෘත්‍රිමව විදුලිය ලබාදීමටයි.

ලෝකයේ දියුණු රටවල හදවතට කෘත්‍රිම ආකාරයෙන් විදුලිය ලබාදිය හැකි උපකරණ ගුවන්තොටුපළ, බස්‌ නැවතුම, දුම්රිය නැවතුම යන මහජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්‌ථානවල සවිකර ඇති අතර දරුවන්ට පාසල් අධ්‍යාපනයේ සිට එහි ක්‍රියාකාරිත්ව පිළිබඳ උපදෙස්‌ ලබාදීම තුළින් රෝගියකුට කෘත්‍රිම විදුලිය ලබාගැනීම අපහසුවක්‌ නොවී තිබේ.

එහෙත් අප රට තුළ එවැනි යන්ත්‍රයක්‌ ක්‍රියාත්මක වන්නේ රෝහලක්‌ තුළ පමණක්‌ වීම නිසා හැකි ඉක්‌මණින් යම් වේලාවක දිගට පවතින හෘද රෝග ලක්‍ෂණ තිබේනම් වහාම රෝහල් ගත කළ යුතු කාරණා පිළිබඳ දැන් ඔබට අවබෝධයක්‌ ඇත.

හෘද රෝග විශේෂද වෛද්‍ය වසන්ත හෙට්‌ටිආරච්චි