හැඳුනුම්පතෙන් වයස 169ක් කරලා

ගලහ ‍පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්තොට ප්‍රදේශයේ පදිංචි 1946 වසරේ උපන් අයකුට සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශයට අයත් වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව විසින් නිකුත් කරන ලද වැඩිහිටි හැඳුනුම්පතෙහි උපන් වර්ෂය ලෙස 1847 සඳහන් වීම නිසා වයස අවුරුදු 169ක් වූ ඔහු බොහෝ රාජකාරි කටයුතු කර ගැනීමේ දී දැඩි අසීරුතාවට පත්ව සිටී.

ඔහු නමින් නුගේආරච්චිලාගේ නෙල්සන් සිල්වාය. දෙල්තොට වැටකේ‍පොත අංක 99 වසමේ දියමංකඩ පදිංචි මොහු ගමේම සුළු වෙළෙඳාමක් කර ජීවත් වන්නෙකි.

ජාතික හැඳුනුම්පත සඳහා ඉල්ලුම් කළ ද මොහුට එය ලැබි නොමැති නිසා වැඩිහිටි හැඳුනුම්පතට ඉල්ලුම් කොට ඇත.
ඒ අනුව 2016 වසරේ දී මොහුට වැඩිහිටි හැඳුනුම්පතක් ‘වැඩිහිටි තැනැත්තන් සඳහා වූ ජාතික සභාව’ මගින් නිකුත් කර ඇත. 1946-09.30 දින උපත ලද මොහුට මෙම හැඳුනුම්පතේ උපන් දිනය සඳහන් කොට ඇත්තේ 1847.08.30 ලෙසය. ඒ අනුව මොහුට දැන් වයස අවුරුදු 169කි.එම හැඳුනුම්පතේ අංකය NSE/470830/112769 වේ.

ජාතික හැඳුනුම්පත නොමැති මොහුට තම රාජකාරි කටයුතු කරගැනීමට යාමේ දී මෙම වැඩිහිටි හැඳුනුම්පත දීමට සිදුවීමෙන් බොහෝ කටයුතුවල දී අපහසුතාවලට පත්වීමට සිදුවන බව මොහු සඳහන් කරයි.