ශ්‍රී ලංකා ඉනිම ලකුණු 110ට සීමාවෙයි

නවක වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර ජාත්‍යන්තර ටෙස්ට් තරග දිවියේ සිය හොඳම පන්දු යැවීම සටහන් කරමින් කේප් ටවුන් නුවර නිව් ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 392කට සීමා කිරීමට සමත් වුවද ඔහුගේ උත්සාහය අපතේ යැවූ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පිළිතුරු ඉනිමේදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 110ක් පමණි.

282ක් පළමු ඉනිමේ වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරැඹු දකුණු අප්‍රිකානුවෝ දිනය නිමාවනවිට කිසිවකු නොදැවී ලකුණු 35ක් රැස්කර තිබිණි. ඒ අනුව කඩුලු 10ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 317ක් ඉදිරියෙන් පසුවෙයි.

ඩීන් එල්ගාර් ලකුණු 19ක් හා ස්ටීවන් කුක් ලකුණු 15ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පිළිතුරු ඉනිම ඇරැඹූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය ඉවසිලිවන්තව පන්දුවට පහරදුන්නද කෞෂාල් සිල්වා, කගීසෝ රබාඩාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 11කට දැවී යෑමත් සමග එම සබඳතාව බිඳ වැටිණි. අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකිවූයේ හතරේ පහරක් හා හයේ පහරක් සමගින් ලකුණු 11ක් පමණි. ඔහු කේෂාව් මහරාජ්ගේ පන්දුවකට ජේ.පී.දුමිනි වෙත් උඩ පන්දුවක් ලබාදුන්නේය.

තේ පානය සඳහා තරගය නතර කරනවිට ලකුණු 56කට කඩුලු 2ක් අහිමිවූ ශ්‍රී ලංකා පිලට තවත් ලකුණු 22ක් තුළ කඩුලු 4ක් අහිමි කිරීමට රබාඩා හා මහාරාජ් සමත් වූහ. තේ පානයෙන් අනතුරුව යැවූ පළමු ඕවරයේ තෙවැනි පන්දුවෙන් දිමුත් කරුණාරත්න (24) දවාගත් රබාඩා තවත් ලකුණු 4ක් තුළ නායක ඇන්ජලෝ මැතිව්ස්ද (2) පිටියෙන් ඉවත් කළේය. මුළු ලකුණු 78දී ධනංජය ද සිල්වා (16) හා උපනායක දිනේෂ් චන්දිමාල් (4)ද දැවී ගිය පිතිකරුවන් අතරට එක්වූහ.

අනතුරුව ක්‍රියාත්මක වූ වර්නන් ෆිලෙන්ඩර් අවසන් පිතිකරුවන් සිවුදෙනාම දවා ගත්තේ ලකුණු 14ක් පමණක් ලබාදෙමිනි. උපුල් තරංග ඉනිෙම් වැඩිම ලකුණු ලාභියා ෙවමින් ෙනාදැවී ලකුණු 26ක් රැස් ක ෙළ්ය.

රංගන හේරත් (1) හා සුරංග ලක්මාල් (0) 41වැනි ඕවරයෙන් දැවී ගිය අතර 42වැනි ඕවරයේ 5වැනි හා 6වැනි පන්දුවලින් ළහිරු කුමාර (4) හා නුවන් ප්‍රදීප් (0) දැවී ගියේ ශ්‍රී ලංකා පිල දකුණු අප්‍රිකාව හමුවේ දැවී ගිය දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි.

මින් පෙර 2001 වසරේදී ශ්‍රී ලංකා පිල මේ ක්‍රීඩාංගණයේදීම ලකුණු 95කට දැවී ගොස් තිබේ.

පන්දු යැවීමේදී කගීසෝ රබාඩා හා වර්නන් ෆිලෙන්ඩර් කඩුලු 4 බැගින් දවා ගත්හ.

තෙවැනි ජාත්‍යන්තර තරගයට එක්වු ළහිරු ඊයේ දිවා විවේකයට පෙර යැවූ අවසන් පන්දුවෙන් ඔහුගේ 6වැනි කඩුල්ල ලෙස කගීසෝ රබාඩා දවා ගැනීමත් සමග දකුණු අප්‍රිකානු පළමු ඉනිම නිමාවට පත් විය.

පළමු දිනයට පෙරේදා තරගය නතර කරනවිට කඩුලු 6ක් දැවී ලකුණු 297ක් ලබාසිටි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ඊයේ අවසන් කඩුලු 4ට තවත් ලකුණු 95ක් එක්කර ගත්තේය.

දිනය ආරම්භ කරන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි කයිල් අබෝට් (16)ට ඊයේ ලකුණු ලබාගැනීමට අවස්ථාවක් නොදුන් රංගන හේරත් දිනයේ දෙවැනි ඕවරයෙන් ඔහු පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

මේ සමග චමින්ද වාස්ගේ ටෙස්ට් කඩුලු 355 අබිබවා ගිය හේරත් (356) මුත්තයියා මුරලිදරන්ට පමණක් පසු පසින් සිටී.

ඔහු ලෝකයේ වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වමත් දඟ පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවන අතර නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි කඩුලු 362ක් දවා ගනිමිනි පෙරමුණේ පසුවෙය.

ලකුණු 68ක් ලබාසිටි ඩි කොක් තවත් ලකුණු 33ක් එක්කර ගත් අතර ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගන්නා විට මිනිත්තු 178කදී පන්දු 124කට මුහුණදෙමින් හතරේ පහර 11ක් එල්ල කර තිබිණි. දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩකයකු ශ්‍රී ලංකාව එරෙහිව වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද මෙය විය. 8වැනි කඩුල්ල ලෙස ඩි කොක් දැවී යනවිට මුළු ලකුණු සංඛ්‍යාව 336ක් විය.

දිනේෂ් චන්දිමාල් වෙත උඩ පන්දුවක් දෙමින් ළහිරුගේ 5වැනි කඩුල්ල ලෙස වර්නන් ෆිලෙන්ඩර් පිටියෙන් ඉවත්වනවිට ලකුණු 20ක් රැස්කරගෙන සිටි අතර ඔහු කේෂාව් මහරාජ් සමග 9වැනි කඩුල්ලට ලකුණු 40ක් එක්කර තිබිණි.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස රබාඩා දැවී ගියේද කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ඊයේ දිනයේදී චන්දිමාල් කඩුල්ල පිටුපස සිට රැකගත් සිවුවැනි උඩ පන්දුව එය විය. ඒ සමග මේ තරගයේදී කඩුල්ල පිටුපස සිට වැඩිම දවාගැනීමේ (7) ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට දිනේෂ් චන්දිමාල් හා කුසල් මෙන්ඩිස් සමත් වූහ.

පෙරේදා දිනයේදී චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් කඩුලු රැකීමේ කාර්යයේ නිරතවූ අතර ඔහු උඩ පන්දු 3ක් රැකගෙන තිබිණි. මින් පෙර අමල් සිල්වා 1985 වසරේදී ඉන්දියාවට එරෙහිව හා දිනේෂ් චන්දිමාල් 2015දී පාකිස්තානයට එරෙහිව කඩුල්ල පිටුපස සිට උඩ පන්දු 6 බැගින් රැකගෙන තිබිණි.

ඉනිම නිමාවනවිට කේෂාව් මහරාජ් නොදැවී ලකුණු 32ක් රැස්කර තිබිණි.

පෙරේදා දිනයේදී ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර්ද ශතකයක් (129) වාර්තා කළේය. පන්දු 230කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිමට හතරේ පහර 15ක් ඇතුළත් විය.

අද තරගයේ තෙවැනි දිනයයි