පළමු ටෙස්ට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට

දකුණු අප්‍රිකානුවන් ජයග්‍රහණය වෙනුවෙන් ලබාදුන් දැවැන්ත ලකුණු සංඛ්‍යාව (488) අසලකටවත් පැමිණීමට නොහැකිවූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෝට්‌ එලිසබෙත්හි පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයෙන් ඊයේ (30 දා) ලකුණු 206 ක පරාජයක්‌ අත්වින්ඳේය.

අවසන් ටෙස්‌ට්‌ තරග පහේදී ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව තරග ත්‍රිත්වයක්‌ සහ සිම්බාබ්වේට එරෙහිව තරග දෙකක්‌ වශයෙන් පිට පිටම තරග පහක්‌ ජය ගෙන සිටි ශ්‍රී ලංකාව 2016 වසරේ සහභාගි වූ අවසන් ටෙස්‌ට්‌ තරගය පරාජයකින් අවසන් කළේය.

ජයග්‍රහණය සඳහා අවසන් දිනය වූ ඊයේ කඩුලු 5 ක්‌ අතැතිව ලකුණු 248 ක්‌ රැස්‌ කිරීමේ අභියෝගය කර පින්නාගෙන පිටියට පිවිසි ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ධනංජයද සිල්වාට දිවා ආහාරය වන තෙක්‌වත් කඩුලු රැක ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් ඉඩ නොලැබුණි. එහිදී දිනයේ පළමු කඩුල්ල ලෙස ධනංජය ද සිල්වා ලකුණු 22 කට කෙයිල් ඇබොට්‌ගේ පන්දුවක්‌ හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව පිටියෙන් ඉවත් විය.

කුසල් මෙන්ඩිස්‌ට පසු ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක්‌ දායාද කළ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පන්දු 160 කදී හතරේ පහර හතක්‌ සමග ශ්‍රී ලංකා පිල ඇදගෙන යැමට උත්සහ කළද ඇබොට්‌ගේ පන්දුවක්‌ හමුවේ ඔහුද කඩුල්ල මුවා කිරීමේ වදරට හසුවිය. ඇන්ජලෝ මැතිව්ස්‌ ටෙස්‌ට්‌ තරගවල සිව්වැනි ඉනිමේදී පිතිකරුවකු ලෙස දළ ලකුණු 69.75 ක වේගයත් සහිතව ලකුණු ලබා ගෙන තිබේ. එම අර්ධ ශතකය මැතිව්ස්‌ගේ 26 වැනි ටෙස්‌ට්‌ අර්ධ ශතකය වේ.

"අපේ පන්දු යවන්නෝ හොඳින් කාර්ය ඉටු කළා. නමුත් පළමු ඉනිමේදී අපිට ඒක ඉදිරියට ගෙනි යන්න බැරි වුණා. කොහොම වුණත් අපි ඊළඟ ටෙස්‌ට්‌ තරගයේදී උපරිමය කරන්න සූදානමින් ඉන්නවා." යෑයි තරගයෙන් අනතුරුව පැවසීය.

දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම වෙනුවෙන් විශිෂ්ට ශතකයක්‌ ලැබු ස්‌ටිෆන් කුක්‌ තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම විනාශ කිරීමේදී රබඩා සහ මහරාඡ් කඩුලු තුන බැගින් දවා ගත් අතර දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ දක්‍ෂතාව පිළිබඳව දකුණු අප්‍රිකානු නායකයා තරගයෙන් අනතුරුව වර්ණනා කර සිටියේය. "මම හිතන්නෙ අපි වේග පන්දු යවන්නන් තුන් දෙනෙක්‌ සමග තරග කරල හොඳ ප්‍රතිඵලයක්‌ ගත්තා. මේ තණතීරුව අපි සියයට සියයක්‌ පදම් වුණා. කොහොම වුණත් මේ ජයග්‍රහණය අති විශිෂ්ටයි." යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.