ගුවන් සමාගම් මත්තලට බෑ කියයි

අන්තර්ජාතික ගුවන් සමාගම් මත්තල ගුවන් තොට භාවිත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දැවැන්ත පාඩුවක් විඳින්නට සිදු වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි. ධාවන පථයේ නඩත්තු වෙනුවෙන් කටුනායක ගුවන් තොට දිනකට පැය 8ක් වසා තැබෙන කාලයේ මත්තල ගුවන්තොට භාවිතයට ගන්නට සැලසුම් කර තිබුණ ද අන්තර්ජාතික ගුවන් සේවා තම ගුවන් යානා මත්තලට ගොඩබැස්වීමට අකැමැත්ත පළ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට මේ දැවැන්ත පාඩුව විඳින්නට සිදු ව ඇත.

කටුනායක වසා තැබෙන මාස තුනක කාලය ඇතුළත ඩොලර් මිලියන 50 ක පමණ ආදායමක් ශ්‍රී ලංකන් ආයතනයට අහිමි වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එම පාඩුවට අමතරව තම ගුවන් සේවයට දැනට දරන්නට සිදුවන වියදමට වඩා විශාල වියදමක් ද දරන්නට සිදුවන පැවසේ.

ගුවන් ධාවන පථය ඉදිකෙරෙන මෙම තෙමසක කාලයේ වසා තැබෙන පැය 8 තුළ පමණක් දිනකට ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර 6 කට ආසන්න ප්‍රමානයක් සම්පූර්ණයෙන්ම අවලංගු කෙරෙන අතර මාසයකට පමණක් එමඟින් අවලංගු වන ශ්‍රී ලංකන් ගුවන් ගමන් වාර ගණන 200 ඉක්මවයි.

මේ කාලය තුළ ගුවන් ගමන් මාර්ග තදබදය වැළැක්විමට චීනයේ බීජිං හා ෂැංහයි දක්වා යන ශ්‍රි ලංකන් ගමනාන්ත මත්තල ගුවන් තොටුපළ දක්වා ගොස් එහි පැය කිහිපයක් නවතා තැබීමේන් අනතුරුව ගමන් කරන්නට කටයුතු යොදා ඇත.

මේ හේතුවෙන් දරන්නට සිදුවන විශාල වියදම දරන්නට ද සිදුව ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමටය.

මෙම මාස තුනක කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමනාන්ත කිහිපයක් අවලංගු වුවද ලීසින් ගාස්තු මෙන්ම කාර්ය මණ්ඩල ගාස්තු ආදිය ගෙවිමට සිදුවීම හා ලැබෙන ආදායම අහිමි වීමෙන් ශ්‍රී ලංක්න් ගුවන් සේවයට දැරිය නොහැකි පාඩුවක් සිදුවෙන බවද වාර්තා වේ. විශේෂයෙන් ගුවන් තොටුපළ වැසෙන කාලය තුළ විදේශිය ගුවන් තොටුපළවල ශ්‍රී ලංකන් ගුවන් යානා රඳවා තබා ගන්නට සිදුවන වියදම දරන්නට සිදුව ඇත්තේ ද එම ගුවන් සමාගමටය.

කෙසේ වෙතත් පාඩු පිට පවත්වා ගෙන යන ශ්‍රි ලංකන් ගුවන් සේවය මෙම සත් කාර්යයට උර දෙන්නට කටයුතු කර ඇත්තේ ගුවන් ධාවන පථයේ දැඩි අවශ්‍යතාව නිසාමය.

සුභාෂිණි ජයරත්න