අද සහ හෙට තැපැල් කාර්යාල වැසේ

තැපැල් සේවය තුළ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පැය 48ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (20) සහ හෙට (21) රටපුරා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල වසා දැමෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ නව කැඳවුම්කරු එස්.එච්. කාරියවසම් මහතා පැවසීය.

මෙම අරගලය සඳහා රට පුරා සිටින තැපැල් සේවකයින් 21,000කට වැඩි පිරිසක් සහභාගි වී සිටිති. මෙරට ප්‍රධාන තැපැල් කාර්යාල 658ක් පවතින අතර රටේ ඇති උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි. මෙම වෘත්තීය අරගලය හෙට (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුව ද මෙම වෘත්තීය අරගලයෙන් පසුව දින 14ක කාලය තුළ නිසි විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ අරගලයකට යන බව හෙතෙම සඳහන් කළේය.

6/2006 රාජ්‍ය සේවා චක්‍ර‍ලේඛයට අනුව බඳවාගැනීමේ පටිපාටිය තැපැල් සේවයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම, තැපැල් සේවයේ සියලු ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා ඉවත්කිරීම, උසස්වීම් ලබාදීමේ දී හා බඳවා ගැනීම් සිදු කිරීමේ දී ඊට අදාළව කාර්යක්ෂමතා කඩඉම් විභාග පැවැත්වීම, තැපැල් සේවයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මකය. මීට පෙර ද අවස්ථා කිහිපයක දී මෙලෙස අදාළ ඉල්ලීම් පාදක කරගනිමින් වෘත්තීය අරගලවල යෙදුන බව ද ඔහු පැවසීය. ඒ අනුව පසුගිය ජූලි 16 වැනි දා අග්‍රාමාත්‍ය ‍ලේකම්වරයා ප්‍රමුඛ කමිටුවක් මගින් මෙම ඉල්ලීම් සඳහා සති එක හමාරක් තුළ විසඳුම් ලබා දෙන බවට ‍පොරොන්දු වුව ද පසුව ඔවුන් ඊට යළි මාස 3ක කාලයක් ඉල්ලා සිටි බව ඔහු පැවසීය. ඉන් පසුව ද වරින් වර ඉල්ලන ලද කාලය දීර්ඝ කිරීම් ලබා දෙමින් ඉවසීමෙන් බලා සිටිය ද සිය ගැටලුවලට අවශ්‍ය විසඳුම් ලැබෙන ආකාරයක් දක්නට නොමැති නිසා යළි වෘත්තීය අරගලයට ප්‍රවේශ වූ බව ඔහු සඳහන් කළේය.

මෙම කාලය තුළ රටේ සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට අදාළ චක්‍ර‍ලේඛය ප්‍රාදේශීය තැපැල් අධිකාරිවරුන්ට හා නියෝජ්‍ය තැපැල්පතිවරුන්ට යවා ඇති බව මේ සම්බන්ධව කළ විමසීමේ දී තැපැල්පති රෝහණ අබේරත්න මහතා ඊයේ (19) පැවසීය. සේවයට නොපැමිණෙන අය සම්බන්ධව ඉදිරියේ දී පියවර ගන්නා බව හෙතෙම සඳහන් කළේය.

නිවාඩු අවලංගු කිරීමට පියවර ගන්නා අතරම සේවයට නොපැමිණෙන සේවකයින් ලකුණු කර ගන්නා ලෙසට ද අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව තැපැල් අමාත්‍ය අබ්දුල් හලීම් මහතා පැවසීය. මීට අමතරව තැපැල් කාර්යාලවල යතුරු ආරක්ෂිතව තබාගන්නා ලෙසට අදාළ අංශවලට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

නයනකේශි විජේකෝන්