හසන් අලිට ජනවාරි 9දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ‍ලේකම් හසන් අලි මහතා ලබන ජනවාරි නව වැනි දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

ඒ අනුව එම කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්. සල්මාන් මහතා එදිනට පෙර සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව මුස්ලිම් කොංග්‍රස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන ජනවාරි 07 වැනි දා පැවැත්වීමට නියමිත මුස්ලිම් කොංග්‍රස් මහා සම්මේලනයේ දී පක්ෂයේ ස්ථිර මහ ‍ලේකම්වරයා ලෙස හසන් අලි මහතාව පත්කරන බවත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා දීමට ද සූදානම් බවත් එම කොංග්‍රසයේ නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ද පසුගිය දා මහනුවර දී සඳහන් කර තිබුණි.

පක්ෂ නායකත්වය හා මහ‍ලේකම්වරයා පෞද්ගලිකව හමුවී සාකච්ඡා කර පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ගැටලුකාරී තත්ත්වය විසඳාගැනීමට පියවර ගෙන ඇති බව එම කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පැවැති අර්බුදකාරී තත්ත්වය විසඳී ඇති බවත් සංශෝධනය කරනු ලැබූ පක්ෂ ව්‍යවස්ථාව යළි ප්‍රතිසංශෝධනය කිරීමට නියමිත බවත් හෙතෙම සඳහන් කළේය.
පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් නොවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමේ බලා‍පොරොත්තුවෙන් සිටි හසන් අලි මහතාට පක්ෂ අභ්‍යන්තර අර්බුදයක් මත එම මන්ත්‍රී ධුරය ලබා නොදීමත් 2015 නොවැම්බර් 06 වැනිදා මහනුවර පැවැති පක්ෂ සම්මේලනයේ දී මහ ‍ලේකම් බලතල අඩු කිරීමත් මත මෙම පක්ෂය අභ්‍යන්තරයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වී තිබිණි.

එෆ්. අස්ලම්