ජනපතිට,අගමැතිට මරණ තර්ජන කර රිමාන්ඩ්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හා විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතාට මරණීය තර්ජන එල්ල කළ 26 හැවැරිදි තරුණයෙකු එළැඹෙන 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08දා) නියෝග කළේය.

කටුනායක ප්‍රදේශයේ පදිංචිකරුවකු යෑයි කියන දිනුෂ චමිර නමැති එම සැකකරු මුහුණු පොතේ ගිණුමක්‌ අයිතිව සිටි අයකු බවත් ඔහු විසින් අන්තර්ජාලයට හඬපටයක්‌ නිකුත් කර ඇති බවත් සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව එම හඬපටය පරීක්‌ෂා කිරීමේදී ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්‌ෂ නායකවරයාට මරණීය තර්ජන එල්ල කළ හඬ පටිගත වී ඇතැයි ද පෙන්වා දුන්නේය.

සැකකරු විසින් අන්තර්ජාලයට එකී හඬපටය මුදාහැරීමේදී 'මෛත්‍රිපාලගේ අවසානය සිංහල බෞද්ධයකු අතින් ළඟදීම - ජනාධිපති ආරක්‌ෂක අංශ සෙබළකු කතා කරයි' යන මාතෘකාව යොදා ඇතැයි ද විමර්ශන නිලධාරීහු පෙන්වා දුන්හ. පෙරකී හඬපටය තුළ ජනාධිපතිවරයා, අගමැතිවරයා හා විපක්‌ෂනායකවරයා ඝාතනය කිරීමට ජනතාවට කරන ආරාධනාවක්‌ ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

එම හඬපටය සැකකරු නිර්මාණය කළ දෙයක්‌ නොව වෙනත් පුද්ගලයකු කළ නිර්මාණයක්‌ බවත් සිය සේවාදායකයා සිදුකර ඇත්තේ එයට ශීර්ෂ පාඨයක්‌ යෙදීම පමණක්‌ බවත් පෙන්වා දුන් විත්තියේ නීතිඥ වීරසේන රණහේවා මහතා විත්තිකරුට ඇප නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කළ යුතු බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්‌වීම සලකා බැලූ මහෙස්‌ත්‍රාත් ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් එම නියෝගය කළේය.