ගෝඨාභය - උදය ජපන් යති

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක්‌ ඊයේ (12 දා) ජපානය බලා පිටත් වූහ.

හිටපු ආරක්‍ෂක ලේකම්වරයා සමඟ විදෙස්‌ගතවූ මන්ත්‍රීවරුන් වන්නේ උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නිරෝෂන් ප්‍රේමචන්ද්‍ර යන අයයි.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලැබුණු ආරාධනයක්‌ මත කෙරෙන මෙම සංචාරයේදී අද (13 දා) රාත්‍රි 7.00 ජපානයේ ලංකා ජී විහාරස්‌ථානයේදී මෙරට රණවිරුවන්ට ආශිර්වාද පතා පවත්වන බෝධි පූජා පිංකමකට මෙම පිරිස සහභාගී වීමට නියමිතය.

අනතුරුව ජපානයේ රාජ්‍යතාන්ත්‍රිකයන් කිහිපදෙනකු ද හමුවන අතර දෙසැම්බර් 17 සහ 18 ඉබරකි සහ නගෝයා ප්‍රාන්ත දෙකේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන සම්මන්ත්‍රණ දෙකකට මේ පිරිස සහභාගි වෙති. මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිතය. 18 වැනි දින ඉබරකි ප්‍රදේශයේදී ශ්‍රී සම්බුද්ධ විහාරයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.