තිස්සට එරෙහි නඩු විභාගය දිනපතා විභාගයට

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා ගිවිසුමකට එළඹ ඇති බවට ව්‍යාජ ලේඛනයක් සත්‍ය ලේඛනයක් ලෙසට ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරයේ පසුවූ හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව දිනපතා විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය විත්තිකාර තිස්ස අත්තනායක මහතා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ඊයේ (05) නියෝග කළාය.

රුපියල් විසිපන්දහස බැගින් වූ මුදල් හා ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපකරුවන් සිවුදෙනකුගේ ඇප මත විත්තිකාර තිස්ස අත්තනායක මහතා මුදාහැරීමට ඊයේ (05) නියෝග කළ විනිසුරුතුමිය ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් නි‍යෝගයක් ද නිකුත් කළාය.

නඩුව ලබන මාර්තු මස 20 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට තීරණය කළ විනිසුරුතුමිය නඩුවේ පළමු සාක්කිකරු වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, දෙවන සාක්කිකරු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ඇතුළු පැමිණිල්ලේ සාක්කිකරුවන් 15 දෙනාහට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කිරීමට ද කොළඹ මහාධිකරණ රෙජිස්ටාර්වරයාට ඊයේ (05) නියෝග කළාය.

නඩුව ඊයේ (05) කැඳවූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකාර තිස්ස අත්තනායක මහතා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මේ නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කරන ඩී. වී. ඩී. පටය සම්බන්ධව පරිගණක උපකරණ පරීක්ෂා කිරීමට විත්තියට ලබාදුන් දින 15ක කාලය ඉක්මවා ඇති බැවින් එම පරිගණක උපකරණ පරිශීලනයට විත්තියට අවශ්‍ය නොවන බවට පූර්ව නිගමනයකට එළඹිය හැකි බැවින් මේ නඩුව විභාගය සඳහා ‍දින නියම කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා නඩුව කැඳවූ අවස්ථාවේ විනිසුරුතුමියගෙන් ඊයේ (05) ඉල්ලා සිටියේය.

තවද නඩුව විභාගයට නියම කළ පසු විත්තිකරුට සාධාරණ නඩු විභාගයකට පෙනී සිටීමට අවකාශ සලසමින් දැනට රක්ෂිත බාරයේ පසුවන විත්තිකරු හට ඇප නියම කිරීම සම්බන්ධව රජය විරුද්ධත්වයක් නොදක්වන බව ද ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ ය.

තවද විත්තිකරුට එරෙහිව ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම ඇති කිරීමෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(3) වගන්තිය යටතේ වන අධි චෝදනාව නඟා ඇති බැවින් එම වගන්තිය ප්‍රකාරව විත්තිකරුට එරෙහි නඩු විභාගය කල් නොදැමිය යුතු බව හා නඩු දිනපතා විභාගයට ගත යුතු බවට සඳහන් වන බැවින් මෙම නඩුව දිනපතා විභාගයට ගැනීමට දින නියම කරන මෙන් ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ‍ජනරාල්වරයා විනිසුරුතුමියගෙන් ඉල්ලා සිටියේ ය.

කරුණු සලකා බැලූ විනිසුරුතුමිය නඩුව දිනපතා විභාගයට ගෙන අවසන් කිරීමට ඊයේ (05) තීරණය කළාය.

සාධාරණ නඩු විභාගයකට පෙනීසිටීමට අවකාශ සලසමින් විත්තිකරු හට ඇප නියම කළ විනිසුරුතුමිය ඇපකරුවන් ලෙසට විත්තිකරු යටතේ සේවය නොකරන පුද්ගලයන් ඉදිරිපත් විය යුතු බවට ද ඇප තැබූ පසු දිනපතා නඩු විභාගය සඳහා පෙනී සිටිය යුතු බවට ද නියෝග කළාය.

තවද අධිකරණ අවසරය නොමැතිව විදේශගතවීම විත්තිකරුහට තහනම් කරමින් නියෝගයක් නිකුත් කළ විනිසුරුතුමිය ඒ බව ආගමන විගමන පාලකවරයාට හා ගුවන්තොටුපළ වෙත දැන්වීමට අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළාය.

විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය වෙත බාරදිය යුතු බවට නියෝග කළ විනිසුරුතුමිය ඇප තැබූ පසු නඩුවේ සාක්කිකරුවන් හට කිසිදු අයුරකින් බලපෑම් හෝ තර්ජන නොකළ යුතු බවට හා අනියම් අයුරින් බලපෑම් නොකළ යුතු බවට ද නියෝග කළාය.

අධිකරණය මගින් නිකුත් කළ සිතාසි මත පසුගිය ඔක්තෝබර් මස 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා එදින සිට අද දක්වා මාස 1 ½ ක කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ පසුවිය.

ඔහුගේ රෝගී තත්ත්වයන් හා ඔහු රක්ෂිත බන්ධනාගාරයේ පසුවීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා විය හැකි බවට ඇප ලබාගැනීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සුවිශේෂී කරුණු නොවන බව පවසමින් තිස්ස අත්තනායක මහතාගේ ඇප අයදුම් ප්‍රතික්ෂේප කර තිබිණි.

2014 දෙසැම්බර් 22 හෝ ඊට ආසන්න දිනකදී කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු තෝරාපත් කර ගැනීමේ ප්‍රතිඵලවලට බලපෑම් වන අයුරින් එනම් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හැසිරීම සම්බන්ධව අසත්‍ය සිද්ධියක් ප්‍රකාශයට පත් කිරීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ යන අය 2014 නොවැම්බර් 01 දින එළඹෙන ගිවිසුම ලෙස අසත්‍ය කරුණු ඇතුළත් කූඨ ලේඛනයක් ප්‍රසිද්ධ කිරීමෙන් ජනාධිපතිවරයකු තෝරාපත් කර ගැනීම සම්බන්ධව පනතේ 80 වගන්තිය යටතේ වරදක් කර ඇති බව විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා නගා ඇත.

තවද එම ලේඛනය කූඨ ලේඛනයක් බව දැන ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී ව්‍යාජව සැකසූ ලේඛනය ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කිරීමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 459 වගන්තිය යටතේ විත්තිකාර තිස්ස අත්තනායක මහතා වරදක් සිදු කර ඇතැයි ද නීතිපතිවරයා අධි චෝදනා නගා ඇත.

අසත්‍ය ලේඛනයක් ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී ඉදිරිපත් කර ප්‍රකාශයට පත් කිරීමෙන් ජාතික එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීමේ ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් ඇති කිරීමෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(3) වගන්තිය යටතේ විත්තිකරු වරදක් සිදුකර ඇති බවට ද නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා ඇත.

විත්තිකාර තිස්ස අත්තනායක මහතා වෙනුවෙන් නීතිඥ කිංකිනි විලන්ගමුව මහත්මිය සමඟ නීතිඥ රනිල් සමරසූරිය හා නිරෝෂන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ යසිදු සෙනවිරත්න මහතා හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනී ගිරිහාගම මෙනවිය සමඟ ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිට‍ර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා පෙනී සිටියේය.