60 හැවිරිදි කාන්තාව සමූහ දූෂණය වෙයි

දර කැඩීම සඳහා ඇල්පිටිය, දිවිතුර වතුයායට ගිය හැට හැවිරිදි අවිවාහක කාන්තාවක් සමූහ දූෂණයට ලක් කළ බව කියන දෙදෙනා අද (6දා)දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහෙස්ත්‍රාත් අසංක බෝදරගම මහතා පසුගියදා (2දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ඇත්කඳුර, තණබද්දේගම 47 වියැති අයෙක් සහ දැඩිවිල, ඇත්කඳුර පදිංචි 57 වියැති අයෙකි.

තමා දර කැඩීම සඳහා දිවිතුර වතුයායට ගිය අවස්ථාවේ ගෝනතිප්පල ප්‍රදේශයේදී දෙදෙනකු පැමිණ පොලිසියෙන් යැයි පවසා තමන් රබර් වත්තේ අෑතට ගෙන ගොස් දෙදෙනා විසින්ම වරින් වර දූෂණය කළ බවට අදාළ කාන්තාව ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

දූෂණයට ලක් වූ කාන්තාව දර කැඩීම සඳහා ගෙන යන ලද පිහියට පොර බැදීමේදී පළමු සැකකරුගේ අතේ අල්ල ප්‍රදේශය කැපී තිබෙන අතර ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ ඇල්පිටිය පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.