විටෝරිට අවුරුද්දක ක්‍රිකට් තහනමක්

පසුගිය ශ්‍රී ලංකා - සිම්බාබ්වේ - කොදෙව් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී කැපී පෙනෙන පන්දු යවන්නෙක් බවට පත්වූ බ්‍රයන් විටෝරිගේ පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බවට චෝදනා එල්ල වූ අතර එම චෝදනා සලකා බැලූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ වනවිට ඔහුට මාස 12ක තරග තහනමක් පැනවීමට තීරණය කර ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විටෝරි වෙත වසරක තරග තහනමක් පැනවීමට හේතු වූයේ පසුගිය වසර දෙකක කාලය තුළ විටෝරිගේ පන්දු යැවීම නීති විරෝධී බවට දෙවතාවක් චෝදනා එල්ල වීම හේතුවෙනි.
ඒ අනුව ඔහුට තම ඉරියව් නිවැරදි කර ගනිමින් නැවත පරීක්ෂණයකට මුහුණදීමට මාස 12ක කාලයක් බලා සිටීමට සිදුවන අතර පසුගිය නොවැම්බර් 27 වැනිදා තුන්කොන් ක්‍රිකට් තරගාවලියට අදාළව බුලවායෝහිදී පැවැති ශ්‍රී ලංකා - සිම්බාබ්වේ අවසන් මහා එක්දින තරගය අතරතුර විටෝරිගේ පන්දු යැවීම නීති විරෝධී බවට දෙවන වරට චෝදනා එල්ල විය. විටෝරි එම අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 52කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.