පෙම්කළ වරදට ගුටි කෑ තරුණයා මියයයි

පෙම් සබඳතාවක් ගොඩනඟා ගැනීමට තරුණියකගෙන් කැමැත්ත විමසීමේ සිද්ධියක් මුල්කරගෙන එම තරුණියගේ ගමේ පිරිසකගේ පහර කෑමට ලක්වූවා යැයි කියන 22 හැවිරිදි තරුණයකු වලපනේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

පෙරේදා (26දා) සවස සිදුව තිබූ පහරදීමෙන් එදින රාත්‍රියේ මියගොස් ඇත්තේ වලපනේ, රෝහල පාරේ පදිංචිව සිටි එම්.ජී. රුවන් සාවින්ද නමැති අයෙකි.

නිල්දණ්ඩාහින්න, පුස්සලපිටිය ප්‍රදේශයේදී මේ පහරදීම සිදුව ඇති අතර තරුණයාට පහරදීමෙන් අනතුරුව ඔහු ත්‍රීවීල් රථයක දමාගෙන වලපනේ ප්‍රදේශයට ගෙනවිත් දැමූ පසු අසල්වාසීන් විසින් ඔහු රෝහලට රැගෙන ගොස් තිබේ.

මේ පහරදීමට සම්බන්ධ යැයි සැකකරන හතරදෙනකු වලපනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පහරදීමට සම්බන්ධ තවත් පිරිසකගේ තොරතුරු අනාවරණය වී ඇති හෙයින් ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.

නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතාගේ සහ වලපනේ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ උපදෙස් මත වලපනේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක කුමාරසිරි මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්‍ෂණ ක්‍රියාත්මක කරයි.