මොළයේ ‍ලේ නහර අවහිරවීම වළකන ‘බිත්තර’ දිව ඔසුව


ඇතැම්විට මේ ලිපිය කියවන ඔබද කොලෙස්ටරෝල් භීතිය නිසා බිත්තර කෑමෙන් වළකින නැතිනම් කහමදය නැතිව බිත්තර කන පුද්ගලයකු විය හැකියි. එහෙත් ඒ පිළිබඳව ඔබ තවදුරටත් කරුණු සොයා බැලිය යුතු තත්ත්වයක් දැන් උදාවී ඇත.
නූතන වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් බිත්තරවලට පක්ෂව පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරනු අපට දැන් නිතරම අසන්නට ලැබෙන බැවිනි. ‘නරක’ කොලෙස්ටරෝල් මට්ටම, හෘද රෝග අවදානම ආදිය ඉහළ දැමීමට දායක වන බවට බිත්තරවලට මෑතක් වන තෙක්ම අධික ලෙස චෝදනා එල්ල විය. 

එහෙත් මෑත ඉතිහාසයේ සිදු කරන ලද පර්යේෂණ ගණනාවකින්ම තහවුරු වූයේ එවැනි චෝදනා එල්ල කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂ්‍ය නැති බවයි. මෙවැනි හේතු ගණනාවක් නිසා පසුගිය වසර කිහිපය තුළ බිත්තර ඇතුළු ආහාර වර්ග ගණනාවක් – විශේෂයෙන්ම කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට හේතු වන ආහාර – පිළිබඳ වෛද්‍ය ක්ෂේත්‍රයේ තිබූ නිගමන වෙනසකට ලක් විණි. 

2016 ජනවාරියේ පටන් “ඔබේ ආහාරවල ඇති කොලෙස්ටරොල් පිළිබඳව ඔබ කනස්සල්ලට පත්විය යුතු නැතැ”යි ඇමරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරියේ වෙබ් අඩවි ජනතාවට පවසන්නේ එහෙයිනි.

බිත්තරවල ගුණ පිළිබඳව පසුගියදා  Journal of the American College of Nutrition හි පළ වූ වාර්තාවක් (Volume 35, 2016 – Issue 8) මගින් අනාවරණය කෙරුණේ, දිනපතා බිත්තරයක් බැගින් ආහාරයට ගැනීම මගින් ආඝාතය හෙවත් මොළයේ රුධිර නාළ අවහිරවීමේ අවදානම අඩු කරගත හැකි බවයි. මිචිගන්හි ආයතනයේ වෛද්‍ය ඩොමිනික් ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රධානත්වයෙන් යුතු පර්යේෂකයන් කණ්ඩායමක් සිදු කළ මේ පර්යේෂණය, 1982 සිට 2014 වසර දක්වා කරන ලද පර්යේෂණ 7 තොරතුරු විශ්ලේෂණයෙන් සිදු කෙරුණකි. ඇමෙරිකාව, ජපානය, ස්පාඤ්ඤය යන රටවල රෝගීන් 276000-308000 අතර සංඛ්‍යාවකගේ තොරතුරු ඊට ඇතුළත්ය. බිත්තර ආහාරයට ගැනීම හා හෘදයාබාධ අතර සම්බන්ධයක් ඇති බවට කිසිදු පැහැදිලි සාක්ෂ්‍යයක් සොයාගන්නට පර්යේෂකයෝ අසමත් වූහ. ඒ වෙනුවට, දිනපතා බිත්තරය බැගින් ආහාරයට ගැනීමෙන් ආඝාත අවදානම 12%කින් අඩුවන බව අනාවරණය කරගැනීමට ඔවුහු සමත් වූහ.

මෙහිදී සැලකිල්ලට ගත යුතු තවත් කරුණක් වන්නේ, බිත්තර ආහාරයට ගැනීම මගින් ඒ ආකාරයෙන් ආඝාත අවදානම අඩුවීමට බලපාන සාධක කවරේ දැයි නිශ්චිත කරගැනීමට පර්යේෂකයන් අසමත්ව ඇති බවයි. එසේ වුවද පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය ඩොමිනික් ඇලෙක්සැන්ඩර් මේ සම්බන්ධයෙන් අපූරු පැහැදිලි කිරීමක් කරයි.

“බිත්තරවල සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය විශේෂ රාශියක් තිබෙනවා. ඒ අතරින් ප්‍රතිඔක්සිකාරකවලට හිමිවන්නේ ප්‍රධාන තැනක්. විවිධාකාරයෙන් ශරීරගත වන ඔක්සිකාරක නිසා සිදුවන හානි සහ ඉදිමුම් සහිත ප්‍රදාහයන් අඩුකිරීමට ප්‍රතිඔක්සිකාරකවලට හැකියාව තිබෙනවා. ඒ වගේම බිත්තරවල ප්‍රෝටීන් අධිකයි. ප්‍රෝටීන් වලට රුධිර පීඩනය අඩුකිරීමේ හැකියාව තිබෙනවා. බිත්තර ආහාරයට ගැනීම නිසා මොළයේ රුධිර නාළ අවහිරවීමේ අවදානම අඩුවන්නේ මේ හේතු නිසා විය හැකියි. කෙසේ වෙතත් අදාළ සත්‍ය හේතු අනාවරණය කරගැනීම සඳහා තවදුරටත් පර්යේෂණ කළ යුතුව පවතිනවා.”

එසේම එළවළු සලාද සමග බිත්තර කලවම් කර ආහාරයට ගැනීම මගින් කැරොටිනොයිඞ්ස් වැනි ප්‍රතිඔක්සිකාරක සිරුරට උරාගැනීමේ හැකියාව වැඩි වන බවත් පර්යේෂණවලින් තහවුරු වී තිබේ. ප්‍රතිඔක්සිකාරක සම්බන්ධයෙන් වෛද්‍ය ඇලෙක්සැන්ඩර් පවසන කරුණු පිළිබඳව අප හැමගේ අවධානය යොමු විය යුතුව තිබේ. වර්තමානයේ බොහෝ ලෙඩ රෝගවලින් සුවය ලැබිය හැකි යැයි නිර්දේශ කෙරෙන ස්වාභාවික ආහාරවල හා ස්වාභාවික දෑ ඇසුරින් නිපදවෙන ඖෂධවල දැකිය හැකි ප්‍රධානම ගුණයක් වන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයයි. ‘ග්‍රීන් ටී’ හොඳම උදාහරණයකි. අප පසුගිය දිනෙක ඉදිරිපත් කළ ලිපියකට මාතෘකා වූ බොකුටු ගෝවා තවත් නිදසුනකි. මේ ආකාරයේ උදාහරණ ඕනෑ තරම් සැපයිය හැකිය.

එනිසා බිත්තර ආහාරයට ගැනීම පිළිබඳව මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතු ආහාර භාවිතය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. එහිදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු කරුණක් වන්නේ ඔබ ආහාරයට ගන්නා දෑ වස විසෙන් තොරද යන්නයි. ප්‍රමිතියකින් තොරව කිකිළියන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදෙන ප්‍රවණතාවක් රට පුරා ඇති බැවින් බිත්තර තෝරා ගැනීමේදී ද ප්‍රවේශම් වන්න. එසේ නොකිරීම නැති ලෙඩ ඇති කරගැනීමට මාර්ගයක් වනු නොඅනුමානය.
නාරද කරුණාතිලක