දියවැඩියාව මූලග්ගින්න සුවකරන කොහිල කැඳ

අප ගන්නා ආහාරවල විවිධත්වය ඇති කර ගැනීමට බොහෝ එළවළු වර්ග තිබේ. නමුත් අපි හුදෙක් පහසුවෙන් සාදාගත හැකි එළවළු වර්ග කීපයකට පමණක් සීමා වී සිටිමු. අවට පරිසරයෙන් පහසුවෙන් සපයාගත හැකි බොහෝ එළවළු භාවිතයෙන් අප ඈත් වී සිටින්නේ ඒවා අහර පිණිස සකසා ගැනීමට ඇති නොහැකියාව නිසාය. නමුත් අතීතයේ සිට අපගේ මුතුන්මිත්තන් බොහෝ වටිනා එළවළු වර්ග, අල වර්ග ආහාරයට ගත් නිසා නොයෙක් රෝගාබාධයන්ගෙන් වැළකුණ බව සැබෑය. නමුත් වර්තමානයේ ඇති ගැටලුව වන්නේ එදා ලෙහෙසියෙන් සොයාගත හැකිව තිබූ බොහෝ එළවළු වර්ග අද වන විට දුර්ලභ වීම මෙන්ම ඒවා ස්වභාවික පරිසර පද්ධතියේ දීම ඇති විවිධ රසායනිකයන්ට ගොදුරු වී තිබිමය.

කොහිල වූ කලී අප රටේ අනාදිමත් කාලයක සිට විශේෂයෙන් ආහාරයක් ලෙසද, ඖෂධ පිණිසද යොදා ගන්නා ලද ශාකයකි. උද්භිද විද්‍යාත්මකව Lasia spinosa නමින් හැඳින්වෙන කොහිල ප්‍රභේද කීපයක් ලංකාවේ දක්නට ඇත. කිරිකොහිල, සිංහල කොහිල, රට කොහිල, කළු කොහිල ලෙස වර්ග කීපයක් දක්නට ඇත. අල හා කොළ විශාලව කළු පාටට හුරු ‍පොත්තක් ඇති කොහිල විශේෂය ගුණයෙන් අධික බව දේශීය වෛද්‍ය ව්‍යවහාරයේ එයි. නමුත් කුඩා පඳුරු ආකාරයෙන් වැවෙන සිංහල කොහිල විශේෂයද ඖෂධ පිණිස දේශීය වෛද්‍යවරුන් විසින් යොදා ගැනෙන අවස්ථා දක්නට ඇත.

කොහිල පිළිබඳ විවිධ ජනශ්‍රැති මෙන්ම කවි ගායනාද නැතිවා නොවේ. නිරන්තරයෙන් කේන්තියෙන් සිටිනා අයට කොහිල කන්න දෙන්නැයිද පැවසේ. සිංහල දරු නැළවිලි ගීයක කොහිල ගැන සඳහන් වේ.

නුඹේ අම්මා කොතැන ගියා
කොහිල වි‍ලේ පතට ගියා
පන් උදුරා එන්ට ගියා
එන්ට නැතුව පමා ගියා” වශයෙනි.

එයින් කියැවෙන්නේ ගොඩ ගොවිතැනේ දී මෙන්ම මඩ ගොවිතැනේදී වී හැරුණු කොට කොහිල වැනි ආහාර භෝග ද වගා කෙරුණු බවයි. කෙසේ වෙතත් අතීතයේ දී කුඹුරු ආශ්‍රිතව පන්විලක් මෙන්ම කොහිල විලක් සෑදීමද සිරිතක්ව තිබිණ. ඒ කුඹුරෙන් සෝදා යන රොන්මඩ තැන්පත් කර ගැනීමට මෙන්ම එම රොන් මඩෙහි ඇති බැර ලෝහයන් පසෙන් ඉවත් කර ගැනීමේ එක් ක්‍රියාවලියක් ද පවත්වා ගනු පිණිසය.

එදා සිට අද දක්වාම අපගේ බොහෝ ජනතාව කොහිල දලු මෙන්ම අලද ආහාරයට ගැනීමට පුරුදුව සිටිති. කොහිල ගුණ දෙන්නේ, අර්ශස් හෙවත් මූලග්ගින්න ඇති අයට පමණක් යැයි බොහෝ දෙනා සිතන බව පෙනේ. නමුත් අප රටේ මෙන්ම ආසියාතික වෙනත් රටවලද කොහිල විවිධ රෝග සුවපත් කරගනු පිණිස යොදා ගන්නා බව පෙනී යයි. නොයෙක් රෝගවලට මුල ආහාර මාර්ගයේ ඇතිවන ව්‍යාකූලත්වයනුයි. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය යහපත් කරලීමට කොහිලවලට විශේෂ හැකියාවක් තිබේ.

අප ජනතාව විවිධාකාරයෙන් කොහිල ආහාරයට ගනිති. නමුත් කොහිල කොළ ඉතාමත් ‍පෝෂ්‍ය සංඝටකයන් බහුල කොළ විශේෂයක් බව දන්නේ අල්පයකි. සැබැවින්ම කොහිල කොළවල ‍ප්‍රෝටීන්, විටමින් ඒ ආදිය බහුලව අන්තර්ගත වේ. මෙහි ඇති තන්තු ප්‍රතිශතයද අනෙකුත් ආහාරවලට වඩා ඉහළ මට්ටමක් ගනී.

ඒ අනුව කොහිල ග්‍රෑම් 100 ක අඩංගු සංඝටක මෙබඳුය.

Protein 1.6g
Fiber 2.7g
Vitamin A Re 258mg
Vitamin A RAE 129mg
Beata – carotene 1545mg

මීට අමතරව ඛනිජ ලවණද අන්තර්ගතය. මේ බව දන්නා අය කොහිල දලු තනිවද, කොස් ඇට සමග කලවමටද ව්‍යාංජන ලෙස සකසා ගනිති. මෙහි විශේෂ ඖෂධීය ගුණය වනුයේ දියවැඩියාව පාලනය කිරීමට ඇති හැකියාවයි. දියවැඩියා රෝගීන්ට උදේට කොහිල දලු කැඳ පිස දෙන්නේ රුධිරයේ සීනි මට්ටම අවම කර ගනු පිණිසය.

ළපටි කොහිල දලු හෝ ළාදඬු කොටස ගෙන හොඳින් කොටා යුෂ ගෙන හීනටි සහල් හෝ වෙනත් දේශීය රතු කැකුළු විශේෂයක් සමග කැඳ සාදා උදයට පානය කිරීම මධුමේහයට මෙන්ම ශරීරයේ දැවිල්ලට, මූත්‍රා ආබාධවලට පිරිමින්ගේ ශුක්‍ර ධාතු වර්ධනයට, වඩාත් හිතකරය. තවද එය නිරන්තර මලබද්ධය මෙන්ම බහුමූත්‍රතාව ඇති රෝගීන්ට ඉතාමත් යහපත් කැඳ විශේෂයකි. ශරීර බලය දුර්වල මෙන්ම කෘෂ ශරීර ඇති දරුවන්ට ද ඉතාමත් අගනා කැඳ වර්ගයකි. තවද අක්මාවේ ඉදිමීම් ඇති අයටද ඉතාමත් ගුණදායකය. නිරන්තරයෙන් මත්පැන් පානය කරන අයට මෙන්ම විවිධ රෝග සඳහා ඖෂධ නිරන්තරයෙන් ගන්නා අයටද ඉතාමත් යහපත් ය. රාත්‍රිය නින්ද නොයන අයට මෙන්ම, අම්ල පිත්ත රෝගීන්ටද පාදයේ යටි පතුල් පැළෙන අයටද කොහිල කැඳ ඉතා යෝග්‍යය.

කොහිල අලද සුවිශේෂ ගුණ දෙන ආහාරයකි. කොහිල අල ඖෂධයක් ලෙස මෙන්ම ආහාරයක් ලෙසද ඉතාමත් වටින්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවන විවිධ රෝග සඳහාය. විවිධ ආහාරවලින් මෙන්ම ඖෂධ නිසා ද බඩවැල්වල විෂ තැන්පත් වේ. ඒ විෂ ඉවත් කිරීමට මහඟු ආහාරයකි, කොහිල. තවද ‍ලේ යන අර්ශස් රෝගීන්ට කොහිල රතුලූනු ව්‍යාංජනය ඉතාමත් ශුභදායකය. රත්පිත් හේතුවෙන් කැස්ස සමග ‍ලේ පිටවන අයටද කොහිල අල ව්‍යාංජනය මෙන්ම කොහිල අල තැම්බූ වතුර කිතුල් හකුරු හෝ තල් සූකිරි සමග දීමෙන් රෝග තත්ත්ව සමනය කර ගත හැකි වේ. හීං කොහිල හෙවත් සිංහල කොහිල විශේෂය පෙති කපා තම්බා එම වතුර හකුරු සමග උදෑසන හිස්බඩ ගැනීමෙන් දියවැඩියා රෝගීන්ට මහත් සහනයක් ඇති වෙයි.

විවිධ හේතුන් නිසා ඇතිවන අජීර්ණවලදී කොහිල අල කොටා ‍පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මිරිකා එම සුළු මී පැණි සමග දීමෙන් අජීර්ණ මෙන්ම අතීසාර තත්ත්වයන්ද මග හරවා ගත හැකිය. කොහිල කුඩා දරුවන්ටද ඉතාමත් ශුභදායකය. කොහිල අල අහරට එක් කිරීමෙන් දරුවන්ගේ බර වැඩි කරගත හැකි අතර ශරීරයේ කෙට්ටුවද මට්ටු කරගත හැකිය. එසේම පණු රෝගද අවම කරගත හැකිය. විශේෂයෙන් වට පණු රෝගය ඇති අයට ඉතාමත් යෝග්‍ය වේ. ‍ලේ යන අර්ශස් රෝගීන්ට ගොටුකොළ රතුලූනු, කොහිල අල සමව ගෙන සම්බෝලය සකසා දීමෙන් රෝග තත්ත්වය මගහරවා ගත හැකිය. තවද එම වර්ගම තම්බා බිමද ඉතා ගුණදායක වේ.

ආන්ත්‍රික පිළිකා අවම කර ගැනීමටද කොහිල ආහාරයට ගැනීම යෝග්‍ය ය. ගර්භාශ පිළිකා අවම කිරීමට මෙන්ම එම පිළිකා විශේෂය වර්ධනය වීම වළක්වා ගැනීමටද කොහිලවලට හැකියාව ඇතැයි නූතන පර්යේෂකයෝ පවසති. නමුත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ සමෙහි හට ගන්නා රෝග අවම කර සම පැහැපත් කිරීමට කොහිල සතු හැකියාවයි.

කොහිල ආහාරයට ගැනීමේදී අප දැනගත යුතු බොහෝ දේ ඇත. විශේෂයෙන් කොහිල ආහාර පිළියෙල කිරීමේදී ද කොහිල තැම්බිමේදී ද ‍පොල් කිරි යෙදීම අනිවාර්යය වේ. මන්ද යත් මෙහි ඇති ‍පෝෂණ සංඝටකයන් විනාශ වීම අවම කර ගත හැකි වන්නේ එවිටය. බි කැරොටින් වැනි සංඝටකයන් ‍පොල්කිරි හේතුවෙන් විනාශ වී යෑම අවම වේ. කොහිල අල අමුවෙන් සම්බෝල ලෙස ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ‍පෝෂක කොටස් විශාල ලෙස ආරක්ෂා කරගත හැකිය.

කොහිල අල ආහාරයට ගැනීමට පෙර කොහිල වැවෙන ස්ථානය පිළිබඳව හොඳින් සොයා බැලිය යුතුය. වස විස එකතු වෙනවා දැයි පරීක්ෂාකාරී විය යුතුය. ගෘහාශ්‍රිතව ඉතා කුඩා කොහිල කොටුවක් නඩත්තු කර ගැනීමට අමාරු දෙයක් නොවේ. එවිට වස විසෙන් තොරව නිරෝගී කොහිල අල කොළ හා දඬු සපයා ගත හැකිය. කොහිල යනු පසේ හෝ ජලයේ ඇති බැර ලෝහ අවශෝෂණය කර ගන්නා ශාක විශේෂයකි. එම නිසා නිරන්තර කෘෂි රසායනයන්ට ගොදුරු වන බිම් ආශ්‍රිතව ඇති කොහිල ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය. බොහෝ රෝගවලින් අප මුදවා ගෙවා කොහිල වැනි එළවළුවලින් ආහාර වේල රසකර ගන්නේ නම් අපට නිරෝගී සුව අත්කරගත හැකි වේ.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මා‍ලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය