ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරැඹේ

සමන්දේව ප්‍රතිමාව, ආභරණ සහ සධාතුක කරඬුව රැගත් පෙරහැර ගල්පොත්තාවෙල රජමහා විහාරස්‌ථානයේ සිට ඊයේ (12දා) බලන්ගොඩ පින්නවල බගවන්තලාව මාර්ගය ඔස්‌සේ ශ්‍රීපාද මථව වෙත ගමන් කළ අවස්‌ථාව.
බලන්ගොඩ අතිරේක - හර්බට්‌ චින්තාමනි, රත්නපුර - අසිත ඉන්දික

නුවරඑළිය- නාලක රත්නායක

මෙවර ශ්‍රී පාද වන්දනා සමය 2016/2017 උදුවප් පෝදා වන අද (13 දා) ආරම්භ වී වෙසක්‌ පුන් පෝ දිනයෙන් (මැයි මස) අවසන් වේ. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරයේ සමන් දේවාලයේ තැන්පත් කර ඇති සධාතුක කරඬුව, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිළිරුව හා දේවාභරණ රැගත් රිය පෙරහැර 3 කින් ශ්‍රීපාද ස්‌ථානය වෙත රත්නපුර පලාපත්වල පාර, බළංගොඩ, බගවන්තලාව පාර සහ රත්නපුර, අවිස්‌සාවේල්ල, කිතුල්ගල මාර්ගය ඔස්‌සේ වැඩම කෙරේ.

ශ්‍රී පාද ධර්ම මධ්‍යස්‌ථානය වෙත වැඩම කෙරුණු සධාතුක කරඬුව ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිළිරුව හා දේවාභරණ මාසයක්‌ තිස්‌සේ වත්පිළිවෙත් ඇතිව පේවූ ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් වැඩම කරනු ලැබේ. එසේ වැඩම කෙරෙන දේව ආභරණ හා කරඬුව ශ්‍රීපාද උඩමළුවේදී ශ්‍රීපාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියන් හා මහා සංඝයා වහන්සේ විසින් තැන්පත් කොට බුද්ධ පූජාව තබා වත්පිළිවෙත් සිදු කළ පසු අද උදැසන 5.00 ට පමණ හිරු උදාවත් සමඟ ශ්‍රීපාද වන්දනා සමය ආරම්භවේ.

මෙවර ශ්‍රීපාද වන්දනා සමයේ පැමිණෙන බැතිමතුන්ගේ ආරක්‌ෂාව සඳහා නල්ලතන්නිය සිට ශ්‍රීපාද උඩමළුව දක්‌වා පොලිස්‌ මුරපළ 3 ක්‌ යොදා ඇත. රතුඅම්බලම, ඉදිකටුපාන හා ගඟුලතැන්න ඒවා වේ. එසේම මෙයට සමගාමීව මාර්ග බාධක හා රථවාහන නිලධාරීන් ඇතුළු 1000 කට ආසන්න පොලිස්‌ නිලධාරීන් සංඛ්‍යාවක්‌ යොදවා ඇති බව හැටන් පොලිස්‌ අධිකාරී බුද්ධි උඩගමසූරිය මහතා පැවසීය.

එසේම මෙවර ප්‍රථම වතාවට පැමිණෙන බැතිමතුන් සඳහා ඔවුන් ගමන් කරන වාහනවල එකතු වන කැළි කසළ ඉවත් කිරීමට කැළි කසළ මල්ලක්‌ මාවුස්‌සාකැලේදී ලබා දීමට නල්ලතන්නිය පොලිසිය විසින් කටයුතු සූදානම් කර ඇත. බැතිමතුන් ගමන් ගන්නා වාහනවල එකතු වන අපද්‍රව්‍ය නල්ලතන්නියේදී තබා ඇති කසළ භාජනවලට යොමු කිරීමට මෙම වැඩපිළිවෙළ හරහා කටයුතු යොදා ඇති බව නල්ලතන්නිය පොලිස්‌ ස්‌ථානාධිපති අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා පැවසීය.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරියගේ උපදෙස්‌ පරිදි පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජල පහසුකම් සඳහා ජල ටැංකි යොදා ඇත. බැතිමතුන්ට වෙළෙඳුන්ගෙන් වන අසාධාරණයන් වැළැක්‌වීමට පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ කඩා පනින ඒකකයක්‌ පිහිටුවා තිබේ. වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට පොලිතින් හා මත්පැන් බෝතල් ගෙන ඒමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්‌ත්‍රික්‌ ලේකම් හෙලන් මීගස්‌මුල්ල මහත්මිය අවධාරණය කර සිටියි.

දුම්රියෙන් පැමිණෙන වන්දනාකරුවන් සඳහා හැටන් ලංගම ඩිපෝව හා පෞද්ගලික බස්‌රථ හිමියන් එක්‌ව ඒකාබද්ධ කාලසටහනක්‌ යටතේ පැය 24 පුරාවට හැටන් දුම්රිය ස්‌ථානයේ සිට නල්ලතන්නිය දක්‌වාත් නල්ලතන්නියේ සිට හැටන් දුම්රිය ස්‌ථානය දක්‌වාත් අඛණ්‌ඩව බස්‌රථ සේවයක්‌ යොදවා ඇත.