ගෝඨාගේ පුතාගේ ගෙවල් කතාව බොරුවක්‌

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය මහතාගේ පුතුට ආණ්‌ඩුවේ වියදමින් කුලියට ගෙයක්‌ ලබා දුන් බවට මංගල සමරවීර ඇමතිවරයා ගෙනයන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (5 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීය.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේද පැවසිය.

'' 2013 සැප්තැම්බර් මාසයේ දී ඇමෙරිකානු ප්‍රාන්තයක්‌ වන කැලිපෝනියාවේ ලංකාවේ කොන්සල් ජනරාල් ලෙස පත් කළේ මල්රාඡ් ද සිල්වා මහතා. ඔහු ලොස්‌ඇන්ජලිස්‌ වල තමන්ගේ නිවසක්‌ තිබෙන නිසා නිල නිවසේ පදිංචි වුණේ නෑ. උත්සව අවස්‌ථා වල දී පමණයි පාවිච්චි කළේ.

එම නිසා නිල නිවස බොහෝ විට වසා දමා තිබුණේ. ඔය වසා දමා තිබුණු නිල නිවස තමයි ආණ්‌ඩුවෙන් කුලියට ගත් නිවසකට ලොස්‌ ඇන්ජලිස්‌ නුවර තිබුණේ.

ඒක ගෝඨාභය මහතාගේ පුතු වෙනුවෙන් කුලියට ගත් බවට බොරුවක්‌ මංගල ඇමතිතුමා කිව්වා.

2013 වසරේ ගෝඨාභය මහතාගේ පුතු ඇමෙරිකාවේ ජීවත් වුණෙත් නෑ. රැකියා කරන සමාගමේ අවශ්‍යතාවයක්‌ අනුව 2013 වසරේ ඔහු සිටියේ මැලේසියාවේ. '' යයි උදය ගම්මන්පිල මහතා පැවසිය.

මංගලගෙන් FCID යට පැමිණිල්ලක්

කෙසේවුවද, රාජපක්ෂ පාලන සමයේදී රටේ මහජන මුදලින් කෝටි ගණනක් ගෙවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක් කුලියට ගෙන නවාතැන් සපයාදුන්නේ කව්රුන් සඳහාදැයි සොයා බලන ලෙස විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) ඊයේ (03) පැමිණිල්ලක් කර තිබේ.

මිට අදාළ ලිපිගොනු හා තොරතුරු රැසක් FCID ය වෙත ලබාදී ඇති විදේශ ඇමතිවරයා, ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලය සඳහා යයි කුලියට ගෙන තිබු මෙම නිවාස සඳහා විදේශ අමාත්‍යංශය මාසිකව ඇමරිකානු ඩොලර් 8000ක් ගෙවා ඇතත් එහි කිසිදිනෙක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් නැති බව සඳහන් කර තිබේ.

2015 මාර්තු මස දක්වා රාජපක්ෂ පාලනයේ සිටි ප්‍රබල නිලධාරියකුගේ පුතකු උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙම නිවසේ පදිංචිව සිටි බව තානාපති කාර්යාල ලිපිගොනු වලින් අනාවරණය වී ඇතැයි සිය පැමිණිල්ලෙන් කියා සිටින විදේශ ඇමතිවරයා, එම ප්‍රභූ පුත්‍රයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු රියදුරන් ලෙස යොදවා සිටි බවද කියා සිටියි.

එම සෙබළුන් දෙදෙනා යුධ හමුදාවෙන් පමණක් නොව විදේශ අමාත්‍යංශයෙන් ද වැටුප් ලබාගෙන ඇති බව විදේශ ඇමතිවරයා ලියකියවිලි මගින් තහවුරු කර තිබේ.

මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රුපවාහිනි ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යංශයෙන් බව බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති ඇමතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම නිවාස යලි බාරදීමේදී අලභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට සිය අමාත්‍යංශයට සිදුවූ බවද කියා සිටියි.