සෝභිත හිමිගේ මරණය සැක කටයුතු නෑ

කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේ වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සැකකටයුතු මරණයක් නොවන බවට විමර්ශනයේදී කරුණු අනාවරණය වී ඇති හෙයින් එම සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (07) තීරණය කළේය.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ විද්වත් වෛද්‍ය කමිටුවේ සම්පාදිත වාර්තාව ප්‍රකාරව නඩු කටයුතු අවසන් කරන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගත්තේය.

කලක පටන් පැවැති ශරීර අභ්‍යන්තර රෝගී තත්ත්වය නිසා මිස ප්‍රතිකාර හේතුවෙන් නොවන බව විද්වත් වෛද්‍ය කමිටුව 2016/9/5 සිය වාර්තා මඟින් අධිකරණය දැනුවත් කර තිබිණ.

කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ වැඩ විසූ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් හෘද ශල්‍ය කර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා 2015/11/08 අලුයම මවුන්ට් එලිසබත් රෝහලේ දී අපවත් විය.

වෛද්‍ය පරීක්ෂණ වාර්තා අස්ථානගතවීම, පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම යන කරුණු මත මෙම මරණය සැක බවට ඇලන්මැතිනියාරාමයේ වැඩ විසූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි විසින් 2016/3/26 දින රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන ආරම්භ විණ.