ත්‍රිරෝද රථ රියැදුරෙකුට 25,000ක් දඩ ගහලා

රියැදුරු බලපත්‍රයක් නොමැතිව බීමතින් මහනුවර නගරයේ රිය පැදවූ පුද්ගලයකුට රුපියල් විසිපන්දහසක දඩ මුදලක් හා මාස තුනක අනිවාර්ය සිරදඬුවමක් මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් පෙරේදා (06) නියම කරනු ලැබීය.

ටී. ජී. ඩී. සමරක්කොඩි නැමැති අරුප්පල දෙ‍ෙවනි පටුමග ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකුට මෙලෙස දඩ මුදල් හා සිරදඬුවම් නියම විය. මහනුවර වේවැල්පිටිය ක්‍රීඩාංගණය අසලින් බීමතින් රිය ධාවනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනිණි.

මෙලෙස රිය පැදවූ අයට මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මෙයට පෙරද පෙර වැරැදි දෙකක් ඇතැයි හෙළිවේ.

නොසැළකිලිමත් ධාවනය, අන්තරාදායක ලෙස ධාවනය, ආදායම් බලපත්‍රයක් නොමැතිවීම, පොලිස් සංඥාවට අවනත නොවීම ඇතුළු චෝදනා ද මොහුට එල්ල වී ඇත. මහනුවර පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එස්. උවින්දසිරි මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක කේ. ආර්. ගෝමස්, පොලිස් සැරයන්වරුන් වන එම්. ආර්. වීරසිංහ (30380), අජිත් (29325) යන නිලධාරීහු මෙහි පරීක්ෂණ ක්‍රියාත්මක කළහ.