සෙංකෝලය ඉස්සුවොත් සති 8ක් මැති සබේ තහනම්

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තබා ඇති සෙංකෝලය ස්පර්ශ කරන හෝ ඔසවන මන්ත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු සේවය සති අටකට අත්හිටුවීමේ බලයක්ද ඇතුළත් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවසන් කෙටුම්පත කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට පෙරේදා (10) ඉදිරිපත් කරන ලදී.

වසර දෙකක කාලයක් සාකච්ඡා කිරීමෙන් පසු මෙම ස්ථාවර නියෝග වෙනස් කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එසේම ස්ථාවර නියෝග වෙනස් වන්නේ වසර 20 කට පසුවය.

ඒ අනුව සෙංකෝලය පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තබා ඇති අවස්ථාවක එය ස්පර්ශ කිරීම හෝ එසවීම මගින් බරපතළ විනය විරෝධි ක්‍රියාවක් සිදුකරන යම් මන්ත්‍රීවරයකු ඔහු එම වරද සිදු කරනුයේ පළමුවරට යන කරුණ නොතකා ඔහුගේ පාර්ලිමේන්තු සේවය සති අටකට අත්හිටුවීමේ බලය කථානායකවරයාට ලැබේ.

සේවය අත්හිටුවා ඇති මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු එම කාලසීමාව තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයෙන් ඉවත් වීමේ කථානායක විධානය පිළිපැදීම ප්‍රතික්ෂේප කරයි නම් කථානායකවරයාට සිය විධාන බලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත හැකි බවද වෙනස් කරන ලද ස්ථාවර නියෝගයන් හි සඳහන්වේ.

මීට අමතරව අගමැතිවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න ලෙස කොටසක්ද ස්ථාවර නියෝගවලට එක් කර තිබේ. ඒ අනුව සෑම මසකම පළමුවන රැස්වීම් සතියෙහි බදාදා දින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට ඇති කාලය තුළ පැය භාගයක කාලයක් අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න ඇසීමට වෙන් කළ යුතු බවත් ප්‍රශ්න හතරකට නොවැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇසීම සඳහා වෙන් කළ යුතු බවත් සඳහන් වේ.

ඡන්දය දීමේදි විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රයක් භාවිතයෙන් ඡන්දය ගැණිය යුතු බවටද ස්ථාවර නියෝගයක් ඇතුළත් කර තිබේ. ඡන්දය විමසීමේදී පේළි බැගින් හෝ නාමිකව විමසිය හැකි බවද දක්වා තිබේ. මහ ‍ලේකම්වරයා විසින් එක් එක් මන්ත්‍රීවරයාගෙන් එම මන්ත්‍රීවරයා ඡන්දය දීමට කැමති කවරාකාරයෙන් ද යන්න විමසා ඒ අනුව ඡන්දය සටහන් කර ගත යුතු ය.

විවාදයකදි යම් මන්ත්‍රීවරයෙකුගේ හැසිරීම අනුව ඔහුගේ කතාව අඛණ්ඩව කරගෙන යෑම නවත්වන ලෙස සහ සජීවි විකාශය නවතන ලෙස කථානායකවරයාට නියෝග කළ හැකිය.

මීට අමතරව ආංශික අධික්ෂණ කාරක සභා සඳහා වන ස්ථාවර නියෝගයන්ද ඇතුළත් කර තිබේ. මැතිවරණයකින් අනතුරුව එහි පළමු රැස්වීමෙන් පසු සති හයක් ඇතුළත යෝජනා සම්මතයක් මගින්, විශේෂ කාරක සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි අංශික අධීක්ෂණ කාරක සභා සංඛ්‍යාවක් පත් කරනු ලැබිය හැකි බවද එහි දැක්වේ. එසේ වුවද, දී ඇති කවර හෝ අවස්ථාවක ආංශික අධීක්ෂණ කාරක සභා සංඛ්‍යාව විස්ස නොඉක්ම විය යුතු බවද දක්වා ඇත.
ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ලෙස විශේෂ කාරක සභාවක් මන්ත්‍රීවරුන් දසදෙනකුගෙන් සමන්විතව පිහිටුවීමට නියමිතය. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාවක්ද නව ස්ථාවර නියෝග වෙනස් කිරීම තුළ පත්වේ. එහි සභාපතිවරයා කථානායකවරයා වන අතර අග්‍රාමාත්‍යවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා සහ කථානායකවරයා නම් කරනු ලබන වෙනත් මන්ත්‍රීවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කාරක සභාව යනුවෙන් නම් කෙරේ.

පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව යනුවෙන් නව කාරක සභාවක්ද නව ස්ථාවර නියෝග මගින් ඇති කර තිබේ. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ආණ්ඩුවෙන් තෝරා ගනු ලබන පසු පෙළ මන්ත්‍රීවරුන් තිදෙනෙක්ද, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විපක්ෂයෙන් තොරාගනු ලබන පසු පෙළ මන්ත්‍රීවරුන් තිදෙනෙකුද මේ සඳහා පත් කළ යුතුය.

අභිනව පාර්ලිමේන්තුවක ආරම්භයේදි කථානායකවරයා විසින් සම්බන්ධීකරණ කාරක සභාවක්ද පත් කරන බවද එහි සඳහන්වේ. එම කාරක සභාවේ සභාපතිවරයා කථානායකවරයා වන අතර නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, විපක්ෂ නායක, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ‍පොදු ගිණුම් පිළිබඳ කාරක සභාව, ‍පොදු ව්‍යාපාර කාරක සභාව, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, මහජන මුදල් පිළිබඳ කාරක සභාව, ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාව, මහජන පෙත්සම් කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව යන කාරක සභාවල සභාපතිවරයන්ගෙන් සංයුක්ත වන්නේය යනුවෙන්ද සඳහන්වේ.

ස්ථාවර නියෝග 156 කින් යුතුව මෙම නව ස්ථාවර නියෝග සංශෝධන අවසන් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.
රුචිර දිලාන් මධුසංඛ/සුරේකා නිල්මිණි ඉලංගකෝන්