බැසිල් රාජපක්ෂ ඇමෙරිකා යයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙරේදා (10) ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (11) සඳහන් කළේය.

පසුගිය කාලය පුරා අතපසු වූ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අරමුණින් හිටපු අමාත්‍යවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවද එම පෙරමුණ සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාගේ ඇමෙරිකාව බලා පිටත්ව යෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

අධිකරණය පනවා තිබූ තහනම හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් ඒ මහතාට සිය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වූ බවත් අධිකරණය විසින් විදේශ ගතවීමට අවසර ලැබීමත් සමග මෙලෙස ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවද එම නිවේදනයේ සඳහන් කර ඇත.

වෛද්‍ය ප්‍රතිකාර අවසන් වූ සැණින් නැවත ලංකාවට පැමිණ පක්ෂය හා ජනතාව සමග පෙරටත් වඩා වැඩි උද්‍යෝගයකින් හා උනන්දුවකින් වැඩකටයුතු කිරීමට රාජපක්ෂ මහතා අපේක්ෂා කරන බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වේ.