2017 අප රටට - ඔබට බලපාන හැටි

වර්ෂ 2017 ජනවාරි 01 රිවි දින උදෑසන 6.22 ට නක්ෂත්‍ර කාලය අනුව නව වර්ෂය උදාවේ. මෙම වෙලාවට තත්කාල කේන්ද්‍රයේ ධනු රාශියේ අංශක 15 කලා 20 ගෙවී සිංහ නවාංශකය උදාවී තිබෙන අතර සුවන නැකතේ 3 පාදයද - රවි හෝරාවේ රවි පංචම කාල හෝරාවද උදාව පවතී. මෙම වර්ෂයේ ලෝකායතන කේන්ද්‍රයේ ග්‍රහ වාරය ශූභ වුවද ලංකා කේන්ද්‍රයේ විෂම ග්‍රහ යෝග කිහිපයක් දැක්වේ. ලංකා කේන්ද්‍රය හිමි සෙනසුරු ජනවාරි 26 වන දින වෘශ්චික රාශියෙන් ධනු රාශියට පිවිස - අප්‍රේල් 6 වනදා වක්‍ර ගමනක යෙදී ජුනි 21 වන දින නැවත වෘශ්චික රාශි ගතවීමද - ඔක්තෝම්බර් 26 නැවත ධනු රාශී ගතවී - දෙසැම්බර් 5 වනදා අස්ත වීමද - සාර දහම්වලට අධිපති බ්‍රහස්පති මෙම වර්ෂය තුල සිත, ගත, සිත - සා නැකැත් වල කන්‍යා - තුලා රාශිවල ගමන් කිරීමද අඟහරු -සෙනසුරු සිය ස්ථාන මාරු කරගෙන ගමන් කිරීමද - බ්‍රහස්පති - බුධ ස්ථාන මාරු කරගෙන ගමන් කිරීමද - සිතුවිලි වලට බලපාන සඳු සෙනසුරුට අයත් මකර රාශියේ ගමන් කිරීමද - අර්ධ කාල සර්ප යෝගයක් තිබියදී නව වර්ෂය උදාවීමද සැලකිය යුතු තත්ත්වයකි.
මෙයින් කියැවෙනුයේ පුදුම සිතෙන සිද්ධි කිහිපයක් මෙම වර්ෂය තුළ අප රටේ සිදුවන බවයි. ශ්‍රී ලංකාව ලෝකය තුළ වඩා ප්‍රසිද්ධ වීම. භූමි විෂමතා - ජල විපත් - නාය යාම්, අද්භූත රෝග නොසිතූ වෙලාවල් වල අසන්නට දකින්නට ලැබිම වැළැක්විය නොහැකි වෙයි. මෙවන් තත්ත්වයක් යටතේ ඔබේ ලග්නයට කෙසේ වියහැකිදැයි විමසා බලමු.

මේෂ

සතුට - ප්‍රීතිය

මේ ලග්නයෙන් උපන් ඔබට 2017 වසර කලකට පසුව ලබන ශුභදායක වසරකි. මුල් මාස හය පෞරුෂත්වය ගොඩ නැගේ. ආත්ම තෘප්තිය ලැබේ. සැම දෙනා සමග හොඳහිත වර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබේ. වසර මැද (ජුනි සිට ඉදිරි මාස 5 තුළ පීඩාකාරී වාතාවරණයක් ඇති වීම වැළකිය නොහැකිවේ)
ධනය:- දෙවැන්නාධිපති ධනස්ථානයේ සිටීම නිසා කෙසේ හෝ අතමිට මිල මුදල ගැවසෙන කාලයකි. මතෛක් තිබූ ණය ගනුදෙනු සමහන් කිරීමට හැකියාව ලැබෙනු ඇත. කොයි දේට ගියත් ඉන් දැනෙන ප්‍රතිඵල ලැබේ.
රැකීරක්ෂා:- නොයෙක් දේට සිත දුවයි. වසරේ මුල් කාලය රැකියාවේ දියුණුව ගැන සැලකිලිමත්වීම යෝග්‍ය වේ. හරි දේ තෝරා ගැනීම ප්‍රඥා ගෝචරය.
ගෘහ ජීවිතය:- වසර මැද සිට තම හිමිකම් පිළිබඳ ගැටලු මතුවේ. අඹු සැමියන් අතර වාදභේද, නඩු හබ, යටපත්වී තිබූ අමනාප කම් මතුවීම, ගෙදර දොර ප්‍රශ්න බහුලවේ.
අධ්‍යාපනය:- විවිධ දැනීම වර්ධනය වේ. ඔබේ ජන්ම වෙලාවේ රවි නීච ක්‍ෂේත්‍රව නොසිටියේ නම් විභාග සම්මුඛ පරීක්ෂණ ආදියෙන් උසස් ප්‍රතිඵල ලැබෙනු ඇත.
සෞඛ්‍යය:- ජුනි මාසයේ සිට තුනටියෙන් පහළ ආබාධ, හදිසි අනතුරු ආදියට මුහුණ දීමට සිදුවේ.
දශාඵල:- සිකුරු - රාහු දශා හිමියන්ට පිට රට යාමේ බලා‍පොරොත්තු ඉටුවේ. රවි, කුජ, බුධ, දශාවේ නම් ශුභයි. ගුරු, සෙනසුරු දශා හිමියන්ට අපලයි සෙසු දශා හිමියන්ට සාමාන්‍යයි.

ශුභ වර්ණය:- රතු - ශුභ දිනය:- ඉරිදා, අඟහරුවාදා
ශුභ මැණික්:- රතු කැට කොරල් ජය අංක:- 1, 4, 9

වෘෂභ

අසනීප

වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2017 වසර ස්ථාවර බවකින් තොරව කටයුතු කිරීමට සිදුවේ. කලක සිට පෙරුම් පුරාගෙන නිසි වෙලාව එනතුරු බලා සිටි තමාට වැදගත් දේකට බාධා යෙදේ. මේ වසර නිමා වන විට කළ දේකුත් නැති නොකළ දේකුත් නැති වසරක් බවට පත්වේ.
ධනය:- යහපත් මාර්ග වලින් මිල මුදල් උපයන්නට උත්සාහ ගනී. එම උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙතත් අනවශ්‍ය දේට වියදම් දැරීමට සිදුවන නිසා ඉතිරි කිරීමේ අංශයෙන් ප්‍රගතියක් නොලබයි
රැකී රක්ෂා:- වසර ආරම්භයේ අඟහරු සිකුරු දහවන ස්ථාන ගතවීම මූලික කොට බ්‍රහස්පති කන්‍යා රාශියේ සිටින වසරේ මුල් මාස නවය තුළ අලුත් රැකී රක්ෂා පිළිබඳව උනන්දුව ඇතිවේ. වසර අවසානයත් සමග බ්‍රහස්පතී සවන ස්ථාන ගතවීම හේතුකොට කොයි දේ කලත් ලොකු වෙනසක් ඇති නොවේ.
ගෘහ ජීවිතය:- වසර මැද භාගයේදී රාහු කටක රාශි ගත වෙයි. අගෝස්තු සිට එතෙක් නිවසේ තිබූ ක්‍රමවත් බවින් තොර බව තුරන්ව ඉවත්ව යයි. තව දුරටත් පෙම්වතුන්ට බාධා යෙදේ. දරුඵල බලා‍පොරොත්තු වෙන් සිටින අඹු සැමියන්ට තව දුරටත් බලා‍පොරොත්තු පමාවෙයි. අඹු සැමියන් අතර ප්‍රීතිය හීනවේ.
අධ්‍යාපනය:- ඉගෙනීමේ යෙදී සිටින ඔබට මේ වසර මුල් භාගය වඩා ශුභයි. සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටින්නන්ට හොඳ ප්‍රතිඵල ලැබේ. වසර අග භාගය මන්දගාමී වේ.
සෞඛ්‍යය:- වකුගඩු ආශ්‍රිත රෝග, උදරාබාධ, උෂ්ණාධික රෝග ආදියට යොමුවීමේ ප්‍රවණතාවය වැඩිවේ
දශාඵල:- සඳු, කුජ, ගුරු, සිකුරු දශා හිමියන්ට මේ වසර ශූභ ඵලද සෙනසුරු කේතු දශා හිමියන්ට අශුභ ඵලද සෙසු අයට සම ඵලද වේ.

ශුභ වර්ණය:- සුදු - ශුභ දිනය:- බදාදා, සඳුදා
ශුභ මැණික්:- සුදු නිල්, මුතු කැට ජය අංක:- 1-6

මිථුන

සුභ ඵල

මිථුන ලග්නයෙන් උපන් ඔබට 2017 වසර මිශ්‍ර ඵල සහිතයි. පෞරුෂත්වය ගොඩ නගා ගැනීමට නොයෙක් දේට යොමුවේ. සමාජයේ ගරු නම්බු ලැබෙයි. හරි දේට යොමුවන වසරකි. වැදගත් ලෙස සමාජයේ පෙනී සිටීමට උනන්දුවෙයි.
ධනය:- අවශ්‍ය දේට කෙසේ හෝ මිල මුදල් ලැබේ. ඉඩ කඩම් සම්බන්ධ ගැටලු නිරාකරණය වේ. අලුත් ආදායම් මාර්ග පෑදේ. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වැය පක්ෂය ඉහළ යයි.
රැකී රක්ෂා:- රැකියා අපේක්ෂකයින්ගේ බලා‍පොරොත්තු බොහෝ දුරට ඉටුවේ. කරන රැකියාවේ උසස්වීම්ද, රැකියා ස්ථිර වීම්ද මේ වසරේ බලා‍පොරොත්තු විය හැක.
ගෘහ ජීවිතය:- විවාහ අපේක්ෂකයන්ගේ බලා‍පොරොත්තු, මංගල යෝග පමාවේ. දරු ඵල බලා‍පොරොත්තු වන්නේ නම් තව දුරටත් ඉවසා සිටීමට සිදුවේ. ජීවිතය සාමකාමී වේ. සතුට හීනවේ.
අධ්‍යාපනය:- අලුත් දේ ඉගෙනීමට ලැබේ. වෙනදාට වඩා වටහා ගැනීමේ හැකියාව වර්ධනය වේ. සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග වෙනුවෙන් පෙනී සිටින ඔබට සතුටු විය හැකි ප්‍රතිඵල ලැබේ.
සෞඛ්‍යය:- මේ වසරේ ඔබට ශරීර සනීපයට බාධා යෙදේ. උදරාබාධ ඇපෙන්ඩිසයිස්, ගැස්ට්‍රයිටිස් වැනි රෝග වලට වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදුවේ.
දශාඵල:- රාහු, සෙනසුරු,කේතු දශා ගත කරන්නේ නම් අපලද, බ්‍රහස්පති, අඟහරු, සඳු දශා ගෙවන්නේනම් ශුභ ඵලද, සෙසු දශාවේනම් සම ඵලද වේ.

ශුභ වර්ණය:- කොළ - ශුභ දිනය:- බදාදා
ශුභ මැණික්:- පච්ච වර්ණ ශුභ අංකය:- 3, 5, 9

කටක

මිශ්‍ර ඵල

කටක ලග්නයෙන් උපන් ඔබට 2017 වසර මධ්‍යස්ථ ඵලද වසර අවසන් මාස 5 අපලද සහිතවේ. හරි දේ වැරදි දේ තේරුම් ගැනීමට පමාවේ. පමණට වඩා ඉක්මන්කම නිසා නැති ප්‍රශ්න ඇති කර ගනී. උඩ නැගීම්, දියේ බැස කරන කටයුතු, වාහන ගමන් අනාගතේට බාධා කරයි.
ධනය:- උපයාගෙන තිබූ මිල මුදලක් වේනම් නාස්ති වන තැනට කරුණු යෙදේ. ණය තුරුස් වීමට පවා සිදුවේ. ගිවිසුම් වැනි දේට අත්සන් කිරීමෙන් අමාරුවල වැටේ.
රැකී රක්ෂා:- වෙනත් අයගේ හරි වැරදි සෙවීමෙන් වැළකී, කුමක් කළත් තමන් කරන රැකියාව ආරක්ෂා කරගෙන සිටීමට උත්සාහ කිරීම මේ වසරෙදි සිතට ගතයුතු ප්‍රධාන කරුණ වේ.
ගෘහ ජීවිතය:- හැම අතින්ම සතුටට බාධාවන කරුණු යෙදේ. පවු‍ලේ උදවිය සමග නොහොඳ නෝක්කාඩු, වාද භේද හට ගනී. ඉවසා විද දරාගෙන සිටීමට උත්සාහ කළයුතුය. වසර අවසන් භාගයේ ඒ තත්ත්වය වෙනස් වේ.
අධ්‍යාපනය:- සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින දරුවන්ට ඊට බාධා යෙදේ. සෙසු අයට සාමාන්‍යයි.
සෞඛ්‍යය:- මුල් මාස හත තුළ උගුරේ ආබාධ, උෂ්ණ ගෙඩි මතුවීම, කටහඬ වෙනස්වීම ආදි දේ ද අගෝස්තු සිට එහාට ඉක්මන් කම වැඩිවීම. ‍පොඩි දේටත් කේන්ති එන ගතිය. හිසේ කැක්කුම සියලු දේට බාධා වේ.
දශාඵල:- රාහු, සෙනසුරු, කේතු, අඟහරු, සිකුරු දශා හිමියන්ට අපල. සඳු, ගුරු දශා හිමියන්ට ශුභ ඵල. සෙසු දශා හිමියන්ට සම ඵලද වේ.

ශුභ වර්ණය:- කිරි සුදු - ශුභ දිනය:- සඳුදා, ඉරිදා
ශුභ මැණික්:- සුදු නිල් ජය අංක:- 2, 7


සිංහ

අශුභ ඵල

සිංහ ලග්නයෙන් උපන් ඔබට රාහු ලග්නයේද කුජ සිකුරු කේතු හතේද සිටියදී උදාවූ 2017 වසර ඒතරම් සැනසිලි ධායක නොවේ. තමන් දන්නා බව පසෙකින් තබා වැදගත් කටයුත්තකදී ඒ ගැන දැනීම ඇති අයෙකුගෙන් උපදෙස් ගෙන කටයුතු කරන්නේනම් එය සැනසිලි දායක වේ.
ධනය:- ආදායමට වඩා වියදම් ඉහළ යන වසරක් නිසා වියදම් පාලනය කරගෙන කටයුතු කිරීමට අදිටන් කිරීම සහනදායකවේ.
රැකී රක්ෂා:- ඉක්මන්කම වැඩිවේ. කරන කටයුතු ක්‍රමයත් නැතිවේ. වසර අග භාගය රැකියාවේ ගැටලු වැඩිවේ. මේ වසර පුරාම රැකියා අංශයෙන් සතුටු වන්නට අවස්ථාව නොලැබේ.
ගෘහ ජීවිතය:- ගෙදර දොර ක්‍රමවත් නැතත් ගෘහ ජීවිතයේ ලොකු ගැටලු ඇති නොවේ. වසර මැද සිට විවාහ ජීවිතයේ සතුට ප්‍රීතිය ඇතිවේ.
අධ්‍යාපනය:- වසර අග භාගයේ සෙනසුරු පංච මධ්‍යස්ථාන ගත වීම හේතුකොට ඉහළ විභාග සඳහා පෙනී සිටින දරුවන් සඳහා ඊට බාධා යෙදේ. සෙසු අයට සාමාන්‍යයෙන් ශුභයි.
සෞඛ්‍යය:- මුල වසර පුරාම උෂ්ණය අධික වීමෙන් ඇතිවන හිසේ ආබාධ, උගුරේ උෂ්ණ ගෙඩි බොහෝවිට එදිනෙදා කටයුතුවලට බාධා කරයි.
දශාඵල:- රාහු, සෙනසුරු, කේතු, අඟහරු, සඳු දශා හිමියන්ට අපලද රවි, ගුරු, බුද දශා හිමියන්ට ශුභ ඵලද වේ.

ශුභ වර්ණය:- රන්වන් පැහැය -
ශුභ දිනය:- රිවි දින, බුධ දින ශුභ මැණික්:- රතු ජය අංක:- 1, 4

කන්‍යා

සුභ ඵල

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට 2017 වසර ශුභඵල උදාවේ. තත්ත්වය රැකගෙන කටයුතු කිරීමට සිදුවන නිසා ඊට බොහෝදේ කැප කිරීමට උත්සාහ ගනී. කැපී පෙනීමට ඕනෑවීම හේතුවෙන් වඩා පරිත්‍යාග ශීලී වීමට සිදුවේ. විදෙස් ගතවීමට බලා‍පොරොත්තුවෙන් සිටි ඔබට එය සාර්ථක කරගත හැක. බොරු සිල් පෙන්නා වෙනත් අය මුලා කිරීමට
දක්ෂකම් ඇතිවේ.
ධනය:- මේ වසර තුළ ධනෝපායන මාර්ග ගැන ගැටලු පැන නොනගී. වසර මැද සිට ඉදිරියට නොසිතූ ආකාරයේ ආදායම් මාර්ග පෑදේ
රැකී රක්ෂා:- සාමූහික ව්‍යාපාර, අධ්‍යාපන සේවා ස්ථාන, පවත්වාගෙන යාමට සිත යෙදවිය යුතු වසරකි.
ගෘහ ජීවිතය:- සාමකාමී පරිසරයක් ගෘහ ජීවිතයේ ඇතිවේ. බිඳුණු සිත් නැවත ලං කෙරෙන කරුණු යෙදේ. වසරේ අවසාන මාස තුන තුළ වාද භේද අතරට මැදිවේ. උරුමයන් පිළිබඳ ගැටලු පැන නගී.
අධ්‍යාපනය:- විද්‍යාව අංශයෙන් ඉගෙනීමේ කටයුතු කරන ඔබට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළ හැකි වසරකි. කලා අංශයට අශූභයි. සෙසු සිසුන්ට සාමාන්‍ය කාලයකි.
සෞඛ්‍යය:- වසර මැද සිට එහාට ශරීර සනීපය වඩා වර්ධනය වේ.
දශාඵල:- රාහු, සෙනසුරු, කේතු, අඟහරු දශා හිමියන්ට අශුභ ඵලද රවි, ගුරු, බුද, දශා හිමියන්ට ශුභ ඵල. සෙසු දශා හිමියන්ට සම ඵලවේ.

ශුභ වර්ණය:- නිල් - ශුභ දිනය:- බුධදා, සිකුරාදා
ශුභ මැණික්:- නිල් පච්ච ජය අංක:- 3, 5

තුලා

සුභ ඵල

තුලා ලග්නයෙන් උපන් ඔබට 2017 වසර කලකට පසු ටිකක් හිසට හිතට විවේකය ලැබෙන වසරකි. නැතිවුණු අභිමානය නැවත ගොඩ නගා ගැනීමේ උනන්දුව ඇතිවෙයි. වසරේ මුල් මාස අට මතෛක් ඉටු නොවූ බොහෝදේ ඉට කර ගැනීමේ සැලසුම හමුවෙයි. වසරේ අවසාන කාලය අභිමානයෙන් ජීවත්වන ලක්ෂණ මතුකර පෙන්වීමට හැකියාව ඇතිවේ. සමාජ සේවා කටයුතු වලට සිත දුවයි.
ධනය:- මුළු වසර තුළම ආදායම් මාර්ග වර්ධනය පෙන්වයි. ගුණ ධර්ම වලට වඩා මිල මුදල් වටිනවායයි හැඟීමක් සිතේ ඇතිවෙයි.
රැකී රක්ෂා:- අලුත් රැකියා බලා‍පොරොත්තු ඉටුවේ. ඉහළ නිධාරින්ගේ සිත් දිනාගැනීමේ හැකියාව ලැබේ. කරන රැකියාවල ස්ථිරවීම උසස්වීම් පමා නොවේ. මුල් මාස අට තුළ විදේශීය රැකියා අපේක්ෂකයින්ගේ සිතැඟි ඉටුවේ.
ගෘහ ජීවිතය:- වසරේ මුල් කාලය ඔබගේ ගෘහ ජීවිතය බැඳීම්වලින් යුක්තවේ. අග භාගයේදී අමනුෂ්‍ය දෝෂ නිවසට අවතීර්ණවේ. පරිසරය දුර්වර්ණවීම්, පාළුවීම් වන්නට හේතුයි.
අධ්‍යාපනය:- අධ්‍යාපන කටයුතු සාමාන්‍ය මට්ටමින් සිදුවන කාලයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල ශුභ දායකවේ.
සෞඛ්‍යය:- වසර අග සීමාවේදී බ්‍රහස්පති ලග්න ගතවීම නිසා ශරීර සනීපය යහපත් ලෙස පවතී. ගුණ ධර්ම රකිමින් ජීවත්වීමට බාධා ඇති වන්නේ නැත.
දශාඵල:- රාහු, බුධ, රවි, සිකුරු, දශා, අනු දශා හිමියන්ට ශූභ ඵලද සෙනසුරු, කේතු මහ දසා හිමියන්ට අශුභ ඵලද සෙසු දශා හිමියන්ට මිශ්‍ර ඵලද නියමයි.

ශුභ වර්ණය:- රතු සුදු සිල්ක් - ශුභ දිනය:-සිකුරාද
ශුභ මැණික්:- සුදු නිල් ජය අංක:- 7

වෘශ්චික

අශුභ ඵල

වෘශ්චික ලග්නයෙන් ජන්ම දායාදය ලැබූ ඔබට 2017 වසර එතරම් ශූභ නොවේ. ගත කළ වසරට වඩා මේ වසරේදී අලුත් යමක් හිමි වන්නේ නැත. හෙමින් වැඩක් කථාවක් නැත. ක්‍රමවත්ව කථාවත් කටයුතුත් නැත. කරන කිසිවක හොඳක්, ගෞරවයක් අසන්නට නොලැබේ. හැකි තරම් නිහඬව තම රාජකාරි ඉෂ්ට සිද්ධ කිරීමට වග බලා ගැනීම බුද්ධි ගෝචරවේ.
ධනය:- යහපත් මාර්ග වලින් ආදායම් මාර්ග සාදා ගැනීමට උත්සාහ ගනී. එයට ඔබින ආදායම් මාර්ග මතු නොවේ.
රැකී රක්ෂා:- සාමාන්‍ය ජීවිතයකට ඔබින ආකාරයෙන් එදිනෙදා රැකියා කටයුතුවල යෙදීමට සිදුවනු ඇත.
ගෘහ ජීවිතය:- වසරේ මුල් මාස 8 තුළ අදෘශ්‍යමාන බලවේග විසින් නිවස පාලනය කරයි. එම නිසා සතුට ප්‍රීතිය හීනවේ. නිවසක තිබිය යුතු පියකරු බව නැතිවේ. නොපෙනෙන බලවේග පාලනය කිරීමට මිල මුදල් වැය කරනු ඇත.
අධ්‍යාපනය:- හිසේ ආබාධ සහ ඉක්මන්කම, කලබල ගතිය, ක්‍රමවත්ව තම කටයුතු නොකිරීම පාලනය කරගතහොත් අධ්‍යාපනික කටයුතු සාර්ථකවේ.
සෞඛ්‍යය:- ශරීර සනීපය හීනවේ. විකාර සිහින පෙනීම ඇතිවේ, උදරාබාධ විශේෂයෙන් අජීර්ණ, කෑම විෂවීම ආදියෙන් එදිනෙදා කටයුතුවලට බාධා යෙදේ.
දශාඵල:- සෙනසුරු, කේතු, බුද, සඳු දසා අතුරු දශා ගත කරන ඔබට අශුභ ඵලද ගුරු, රවි, සිකුරු දශා වේනම් ශුභ ඵලද සෙසු දශා වේනම් සම ඵලද උදාවේ.

ශුභ වර්ණය:- රතු, කොරල් - ශුභ දිනය:-අඟහරුවාදා
ශුභ මැණික්:- රතු කැට ජය අංක:- 4, 8

ධනු

නීතිමය ගැටලු

ධනු ලග්නයෙන් උපන් ඔබට 2017 වසර ශුභවාදී නොවේ. හිත මිතුරන් අමනාපවේ. වෙනත් අයව පාලනය කිරීමට යාමෙන් කරදර අවහිර ඇතිවේ. දරදඬු ක්‍රියාකාරකම් නිසා නීතිමය ප්‍රශ්නවලට මැදිව කටයුතු කිරීමට කාලය වැයවේ.
ධනය:- මතෛක් ඉතිරි කරගෙන තිබූ යමක් වේනම් මේ වසර තුළ ඇතිවන ප්‍රශ්න වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. වෙනත් කිසිවෙකුගෙන් යම් උපකාරයක් බලා‍පොරොත්තු වූවා නම් එයද නොලැබි යන තත්ත්වයට පත්වේ. හැම අංශයෙන්ම සිත කලකිරෙන සිදුවීම් සිදුවේ.
රැකී රක්ෂා:- රැකියා ව්‍යාපාර අංශයෙන් මතෛක් කරගෙන ආ කටයුතු එසේ කරගෙන යාමට බාධා අවහිර ඇති නොවේ.
ගෘහ ජීවිතය:- සිව්වන ස්ථානය අධිපති දහයේ ගමන් කරන කාලය නිසා අඹු සැමියන් අතර ලොකු ඇඟ ඇලුම්කම් ඇති නොවුවද ගෘහ ජීවිත තුළ සාමකාමී බවින් යුතුව ඒකාකාරීකමින් ගෙවී යයි.
අධ්‍යාපනය:- වසර අග භාගයේ රවි සිකුරු දොළොස් වන ස්ථානයේ ගත කිරීම නිසා ඉහළ විභාග සඳහා පෙනී සිටින ඔබට එතරම් පහසු නොවේ. සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මධ්‍යස්ථ ඵල සහිතයි.
සෞඛ්‍යය:- සෙනසුරු වෘශ්චික ධනු යන රාශිවල, කේතු, මකර, කුම්භ යන රාශිවල ගත කරන කාලයක් නිසා ශරීර සනීපය ගැන අලුතින් සැලකිලි දැක්වීමට සිදුවන ඇත.
දශාඵල:- කේතු, සෙනසුරු, රාහු දශා ගතකරන ඔබට අශුභ ඵලද ගුරු, රවි, බුද දශා ගත කරන ඔබට ශුභ ඵලද සෙසු දශා හිමියන්ට මිශ්‍ර ඵලද හිමියි.

ශුභ වර්ණය:- රන්වන් පැහැ - ශුභ දිනය:-බ්‍රහස්පතින්දා
ශුභ අංකය:- 1,2,4

මකර

මිශ්‍ර ඵල

මකර ලග්නයෙන් උපන් ඔබට 2017 වසර අශුභදායකවේ. ගොඩ නගාගෙන තිබූ අභිමානය සේදීයන තැනට කටයුතු සිදුවේ. යොදා ගෙන තිබූ වැදගත්කටයුතු වෙනස් කිරීමටත් අතහැර දැමීමටත් කරුණු යෙදේ.
ධනය:- බාධා අවහිරකම් නිසා, ලැබෙන දෙයින් වැඩි කොටසක් නිශ්ඵල දේට වැය කිරීමට සිදුවේ. අලුත් ආදායම් මාර්ග වලට යොමුවීමට සුදුසු කාලය නොවේ.
රැකී රක්ෂා:- වසර මැද සිට ඉදිරි කාලය රැකී රක්ෂා අහිමිවීම්, ස්ථාන මාරුවීම්, බොරු චෝදනා වලට ලක්වීම, නිසා රැකියාවේ ගැටලු රාශියකට මැදිවේ.
ගෘහ ජීවිතය:- වසර මැද සිට ගෘහ ජීවිතය තුළ රැඳී තිබුණ අමනාපකම් මග හරවාගෙන සිටීමට උත්සාහ කරයි.
අධ්‍යාපනය:- නිරෝගි කම ඇති කර ගතහොත් අධ්‍යාපන කටයුතු සාමාන්‍ය මට්ටමට පවත්වාගෙන යාමට හැකිවේ. අසන දේ කියවන දේ මතක සිටීමේ ශක්තිය දුර්වලවේ.
සෞඛ්‍යය:- හිසේ පැත්තකට කැක්කුම, විකාර සිහින පෙනීම නිසා හරියට නින්ද නොඒම මනස දුර්වල වීමට හේතු දායකවේ. උදරයේ උෂ්ණය එකතුවීමෙන් හට ගන්නා රෝග සියලු දේට බාධා කරයි.
දශාඵල:- සෙනසුරු, රාහු, කේතු, බුද දශා හිමියන්ට අශුභ ඵල සහිතයි. සඳු, ගුරු, අඟහරු දශා හිමියන්ට ශූභ ඵල සහිතයි. සෙසු දශා හිමියන්ට සම ඵල සහිතයිි.

ශුභ දිනය:- සෙනසුරාදා, බ්‍රහස්පතින්දා
ශුභ වර්ණය:- නිල් ශුභ මැණික්:-නිල් ශුභ අංකය:- 2, 8

කුම්භ

අවිවේකීබව

කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2017 වසර අවිවේකී වසරක් වේ. වැඩ ගොඩකර ගත්තත් - කරන කටයුතු වල ක්‍රමවත් බවක් නැති වන නිසා මත භේදවලට මැදිවීමට සිදුවේ.
ධනය:- පුරුදු කටයුතු වලින්, වෙනත් ලැබිම් නිසා මිල මුදල් අංශයෙන් ගැටලු ඇති නොවේ.
රැකී රක්ෂා:- කරන රැකියාවේ උසස්වීම්, වෙනත් නිලතල ලැබිම්, අලුත් වගකීම් දැරීමට සිදුවේ. ව්‍යාපාර තව පුළුල් කර ගැනීමට උනන්දුව ඇතිවේ. සෙනසුරු වසර අග ධනස්ථාන ගත වීමෙන් ඒ තත්ත්වය තවත් සාර්ථකවේ.
ගෘහ ජීවිතය:- සුදුසු වයසේ ඔබට මංගල යෝජනා ලැබෙන වසරකි. වසර මැද පෙම් බැඳුම්, අලුත් සබඳකම් ඇතිවීම. කා සමගත් හොඳ හිත ඇතිවීම නිසා ප්‍රීතිය ඇතිවේ.
අධ්‍යාපනය:- මේ වසරේ ඉගෙනීමේ කටයුතු වල යෙදෙන දරුවන්ට තම ඉලක්ක කරා ගමන් කිරීමේ හැකියාවල් ලැබේ. අධ්‍යාපනය ලබාදෙන ඔබටද ශූභදායක වසරකි. පහසු ස්ථානවලට ස්ථාන මාරුවීම් ලැබේ.
සෞඛ්‍යය:- ‍ලේ ධාතුවේ රක්ත වර්ණය වැඩිවීම හේතුකොට ඉක්මන්කම වැඩිවීම හේතුකොට හැපීම්, වැටීම්, වාහන අනතුරු ආදිය නිසා ඔත්පලවීම් බහුලවේ. අංශ භාග වැනි රෝග වලින් පෙළෙන්නන්ට රෝගය උත්සන්නවේ.
දශාඵල:- රාහු, කේතු දශා අනු දශා පවතී නම් අපලද, රවි බුද සෙනසුරු සිකුරු දශා වේනම් ශුභ ඵලද, සෙසු දශා පවතීන්ම් මධ්‍යස්ථ ඵලද ලැබේ.

ශුභ වර්ණය:- නිල් - ශුභ දිනය:-ශනිදා
ශුභ මැණික්:- නිල් ජය අංක:- 4, 9

මීන

ගැටලු රැසක්

මීන ලග්නයෙන් උපන් ඔබට 2017 වසර අශුභ සහිත බව දැක්වේ. මෙම වර්ෂය තුළ ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. එදිනෙදා කටයුතුවලට බාධා යෙදේ. යහළු මිත්‍රාදීන්, නෑ හිතවතුන් අසල්වාසීන් සමග තිබූ හිතවත් කම් පලුදුවේ.
එදිනෙදා උදාවන තත්ත්වයන්ට තනිවම මුහුණ දීමට සිදුවනු ඇත.
ධනය:- කඩෙන් කෑමගෙන හරක් බැලුවා වැනි තේරුමක් නැති තත්ත්වයේ කටයුතුවලට මැදිවේ. අවසානයට ඉතිරි දෙය මහන්සිය පමණි.
රැකී රක්ෂා:- සිය හුරු පුරුදු රැකියාවල්වත් හරියට කරගැනීමට බැරිවන කාලයකි. වසර මැදදී සෙනසුරු දස වැන්නට, කේතු එකළොස්වැන්නට රාහු පස්වැන්නට ගමන් කිරීමෙන් පසු ගැටලු තවත් තීව්‍රවේ.
ගෘහ ජීවිතය:- අරුත් බවින් තොරව ගෙවාදැමීමට සිදුවේ. මානසික සතුට හීනවේ. වටපිට පරිසරය තමන්ට සිනහ සෙනවායයි සිතේ.
අධ්‍යාපනය:- මේ වසරේ අගෝස්තු - දෙසැම්බර් සීමාවේ විභාග සම්මුඛ පරීක්ෂණ ආදියට පෙනී සිටින ඔබට ශුභ දායක ප්‍රතිඵල නොලැබේ. සෙසු අයට සාමාන්‍ය තත්ත්වයකි.
සෞඛ්‍යය:- ශරීර සනීපය අතින් මේ වසරේ මුල් මාස අට කෑමෙන් බිමෙන්, විෂක් ශරීර ගත විය හැකි කාලයක් නිසා පරිස්සමෙන් කටයුතු කළ යුතු කාලයකි.
දශාඵල:- රාහු, කේතු, සඳු, බුධ දශා අතුරු දශා හිමියන්ට අපලද සෙනසුරු, අඟහරු, සිකුරු දශා හිමියන්ට ශූභ ඵලද, සෙසු දශා හිමියන්ට මධ්‍යස්ථ ඵලදවේ.

ශුභ වර්ණය:- කිරි සුදු - ශුභ දිනය:-සිකුරාද
ශුභ මැණික්:- නිල්, වෛරෝඩි ජය අංක:- 3, 9

(ජ්‍යෙතිෂ විද්‍යා විශාරද - සාම විනිසුරු කලවානේ පරගොඩ කවි කුමාර)


නව වසර අපට බලපාන හැටි

2017 ජනවාරි 01 රිවි දින - උදෑසන 6.22 ට ඉර උදාවේ. ධනු ලග්නය උදාවී අංශක 15කුත් කලා 22ක් ගෙවී තිබේ. අඟහහරු-සෙනසුරු සිය ස්ථාන මාරු කරගෙන සිටී. බ්‍රහස්පතී බුද ද සිය ස්ථාන මාරු කරගෙන සිටී. සිතට සිතුවිලි වලට බලපාන සඳු සෙනසුරුට අයත් මකර රාශියේ අංශක 18 කලා 20 ගෙවා සිටී. අර්ධ කාල සර්ප යෝගයන්ද උදාව තිබේ. මේ වෙලාවට ලංකා කේන්ද්‍රය පිස්සන් කොටුවක සිරි ගනී. ලැජ්ජා බිය නැති කයිරාටික වැඩ කරන - කෙසේ හෝ මිල මුදලට තනිවුණ මිනිසුන් වැඩිවේ. අනවශ්‍ය දේට මුදල් වැය කරන, හොඳ දේ, නොහොඳ දේ, හරි දේ, වැරදි දේ, කළයුතු දේ, නොකළ යුතුදේ, නොදැන මොනවා හරි කරමින් කාලය නාස්ති කරන පිරිස කැපී පෙනෙන වසරකි. මේ වසරේදී ආණ්ඩු වෙනසක් ඇති නොවේ. ජනතාව අතරින් අලුත් ආකල්ප බිහිවේ. ලක්වැසියන් වශයෙන් ‍පොදුවේ ගත්කළ අපට උද්දාම වන්නට තරම් දේවල් මේ වසරේදී ඇති නොවේ.
ජනගහනය:-
උපත් වැඩිවේ. උත්පත්තිය ලබන දරුවන් අතරින් නිරෝගි දරුවන් අඩුවේ. අමනුෂ්‍ය දෝෂ ඇති දරුවන් කැපී පෙනෙන මට්ටමට ඉහළ යයි.
සෞඛ්‍ය අංශය:-
පසුගිය වසර දෙක හමාර තුළ කල් ගිය රෝග වලින් දුක් වින්ද, රෝගීන්ට ගැළපෙන බෙහෙත් වර්ග වෙළෙඳපළට එකතුවෙයි. අලුත් ආකාරයේ බෝවෙන රෝග බහුලවේ.
නීතිය:-
පසුගිය වසර තුළ අමිහිරි වචනයක්වූ රිය අනතුරු මේ වසරේදී මදක් අඩුවේ. මිනිස් වර්ගයා තුළ ඉවසීම අඩුවේ. ‍පොලීසි උසාවි වැනි තැන්වල කාර්ය බහුලවේ. අසංවර පුද්ගලයින් ආගමික වශයෙන් මතුවීමෙන් ආගමට දහමට ඇති ගරුත්වය බිඳ වැටේ. 2017 ජනවාරි 26 වන දින සෙනසුරු ධනු රාශි ගතවීමෙන් පසුව රටට අවශ්‍ය අලුත් අණ පනත් නීති රීති රාශියක් බිහිවේ. පමණට වඩා නීතිය රජ කරන යුගයක් බවට පෙර‍ලේ.
දේශගුණය:-
දේශ ගුණික විපර්යාස, පාරිසරික හානි, කඳු කඩා වැටීම්, ජල ගැලීම්, කනට අමිහිරි මරණ බහුලවේ. හිටි හැටියේ සිදුවන කාලගුණ විපර්යාස නිසා ‍පොළවේ සාරවත් බව අඩුවේ.
අධ්‍යාපනය:-
අධ්‍යාපනය සම්බන්ධයෙන් වියදම් ඉහළ යයි. ඒ සඳහා විදේශීය සහයෝගයන් ලැබේ. ජාත්‍යන්තර පැසසුම්ද ලැබේ.
ධනය:-
අන්සතු දේපළ විකුණා හෝ ධනවත් වෙන්නන් කැපී පෙනෙයි. නොමනා සිරිත් සමාජයේ ළමා පරපුර ගිලගනී. සාර ධර්ම අභිභවා මුදල් ස්මතු වන කාලයක් බවට පත්වේ.
රැකී රක්ෂා:-
මහා පරිමාණයේ නව රැකියා ව්‍යාපාර ගමින් ගමට බිහිවේ. එහෙත් ඒවා දේශීයත්වයට හානිකර තත්ත්වයට පත්වේ. ජීවන බර ගැන ඇසෙන කතා පුරසාරම් බවට පත්වේ. කෑම බිම ඇඟට දැනෙන ආකාරයෙන් ඉහළ යන යුගයක් බවට පත්වේ.
සබඳකම්:-
දේශීය වශයෙනුත්, විදේශීය වශයෙනුත් අලුත් සබඳකම් ඇතිවේ. විදේශීය වශයෙන් මිතුරුකම් වෙසින් කරන සතුරුකම් මතුවී පෙනෙන්නට වේ.
දේශපාලනය:-
දේශපාලන පක්ෂ ජනතාවට එපා වන යුගය තව දුරටත් පවති. අලුත් දේශපාලන පක්ෂ කිහිපයක් බිහිවේ. එහෙත් ඒවාට පැවැත්මක් නැත. දිය වී යයි. වෘශ්චික ලග්නයෙන් බිහි වී ඇති එක්සත් ජාතික පක්ෂය පසුබැස්මකට ලක්වේ.
පාලක පක්ෂය:-
නව වසරේදී පාලක පක්ෂය මදක් ස්ථාවර බවට පත්වේ. අවශ්‍ය දේ නොව ප්‍රසිද්ධියට පත්වීමට සුදුසු දේවල් කිරීමට යොමුවේ. එහෙත් එය ජනතාවගේ ප්‍රසාදයට ලක් නොවනු ඇත.
විපක්ෂය:-
විපක්ෂය නියෝජනය කරන සිකුරු සෙනසුරුට අයත් ස්ථානයේ සිටින නිසා ස්ථාවර බවක් නැති විපක්ෂයක් බිහිවේ. ප්‍රතිපත්තියක් නැතිවේ. මඩ ගොහොරුවක් බවට පත්වේ. බුද්ධිමතුන්ගේ සිනාවට ලක්වේ.