පහුගිය කාලේ විජයදාස කිව්වේ යහපාලන ආණ්ඩුවේ දේවල් නෙවෙයි

අයේෂා ආබ්දීන් ගැන ලංකා ඊ නිව්ස් හෙළි කළ නිසා ඇය දැන් අනිවාර්ය නිවාඩු යවා තිබෙන බවත් ලංකා ඊ නිව්ස් කෙළේ වරදක් නොවන අතර විනිසුරුවරුන් කියන්නේ දෙවිවරු නොවන බවත් මේ ප්‍රශ්නයේදී රන්ජන් රාමනායක ඉන්නේ ලංකා ඊ නිව්ස් පැත්තේ බව බය නැතිව කියන බවත් සමාජ සුභසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

ලංකා ඊ නිව්ස් ප්‍රධාන කතෘවරයාට හා එම වෙබ් අඩවියට එරෙහිව සිදුවන අධිකරණ හා දේශපාලනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේ ය. පහත පළ වන්නේ ඔහු විසින් දැක්වූ අදහස් කිහිපයකි.

“ ඇත්තටම ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට හා එහි ප්‍රධාන කතෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව එල්ල කරන ලද මෙම චෝදනා සහ මෙම ක්‍රියාවලිය මම ඉතාම පිළිකුලෙන් හෙලා දකිනවා. ඊ නිව්ස් කියන්නේ අපේ මේ යහපාලන ආණ්ඩුව ගෙන ඒමට විශාල වැඩ කොටසක් කරපු මාධ්‍ය ආයතනයක්.

ඒ වගෙම තමයි අයේෂා ආබ්දීන් විනිසුරුවරිය මරණ දණ්ඩනයට නියම වී ඇති ප්‍රබල පුද්ගලයෙක් රාජකාරි පටිපාටියෙන් බැහැරව අවේලාවේ හමුවුනා කියල ලිව්වේ ඊ නිව්ස්. ලංකාවේ වෙන කිසිම මාධ්‍යයක් ඒක ලියන්න බය උනා. ඒ විදියේ මාධ්‍ය කලාවක් තමයි රටේ තියෙන්නෙ. ඊ නිව්ස් ඒක ලිව්වේ නැත්නම් ලංකාවේ මිනිස්සු මේක දන්නෙත් නෑ. ඊ නිව්ස් ඒක ලියපු හන්ද දැන් අධිකරණ සේවා කොමිෂන් සභාව ඇයව අනිවාර්ය නිවාඩු යවලා පරීක්ෂණ පවත්වනවා. ඉතිං ඒක ලියපු එක වරදක් නෙවෙයි.

විනිසුරුවරුන් කියන්නේ දෙවිවරුන් නෙවෙයි. එයාලත් වැරැද්දක් කරල තියෙනව නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. සරත්.එන්.සිල්වා, සරත් ආබෲ වගේ විනිසුරුවරුන්ට අපට ගරු කරන්න බෑ. හැබැයි කීර්තිමත් විනිසුරුවරයෙක් වන සරත් අඹේපිටිය විනිසුරුතුමා ඒ වගේම මෑත යුගයේ අධිකරණයේ කීර්තිය බේරගත්ත පද්මිණී.එන්.රණවක ගුණතිලක විනිසුරුවරිය වගේ අයට අපි හදවතින්ම ගරු කරනවා.“

වැඩිදුරටත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේද කීය.

‘‘ ලංකාවේ එක්තරා මාධ්‍ය ජාලයක හිමිකාරයෙක් මේක පිටිපස්සෙ ඉන්නවා කියල අපිට ආරංචියි. එයාගෙ සල්ලිත් මේ වෙලාවෙ ඊ නිව්ස් එකට විරුද්ධව යෙදෙනවා කියල අපි දන්නවා. ලංකාවේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි. අපි බලමු මොකද වෙන්නෙ කියල. උදයංග වීරතුංග අල්ලන්න රතු නිවේදන දෙන්න බෑ මේගොල්ලොන්ට, පැය විසිහතරෙම මඩ ගහන වෙබ් සයිට් වලට නියෝග දෙන්න බෑ, හැබැයි සඳරුවන් අල්ලන්න ටක් ගාලා රතු නිවේදන දෙන්න පුලුවන්. අනික පහුගිය කාලේ විජයදාස රාජපක්ෂ මහත්තයා කිව්වේ යහපාලන ආණ්ඩුවේ දේවල් නෙවෙයි. ජාතිවාදය කතාකරා, ගෝඨාභය බේරගන්න කතා කරා , මේවා මේ අපේ ආණ්ඩුවේ මතය නෙවෙයි.

අපි ඇලර්ට් එකේ ඉන්නවා, මේක අපි අමාරුවෙන් පිහිටවපු ආණ්ඩුව, මේක වැටෙන්න දෙන්න බෑ. රාජපක්ෂලා පරාජය කරාට රාජපක්ෂලාගේ අවතාර මේව පිටිපස්සේ ඉන්නවා කියල අපි දන්නවා. බය නැතුව ලියන්න රන්ජන් රාමනායක මේ ප්‍රශ්නෙදි ඉන්නේ ඊ නිව්ස් පැත්තේ කියලා.මං මේ ගැන පාර්ලිමේන්තුවෙත් කතා කරනවා.“

සාකච්ඡා කෙළේ - වෛද්‍ය ශිෂ්‍ය එම්.එල්.එච් අඹේපිටිය