ලංකා ඊ නිව්ස් කර්තෘට එරෙහිව නඩු 70ක්

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පවත්වාගෙන යන්නේ යැයි පැවසෙන 'ලංකා ඊ නිව්ස් 'වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව බරපතල චෝදනා 70 ක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවත්, ඒවා ගොනු කර ඉදිරියේ දී අධිකරණය හමුවේ නඩු 70ක් දැමීමේ සූදානමක් පවතින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (25) ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ධ්‍යා නානායක්කාර මහත්මිය විසින් ඉන්ටපෝල් වෙත (ජාත්‍යන්තර පොලීසියට) වරෙන්තු ද නිකුත් කර තිබේ.

එසේම ලංකා ඊ නිව්ස් කර්තෘවරයා ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයට ද අධිකරණය විසින් නියෝග නිකුත් කරනු ලැබ ඇත.

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කළැයි ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාවය.

අධිකරණ ඇමතිගේ ප්‍රකාශය :

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය ඔස්සේ මෙරට විනිසුරුවරුන්ට අපහාස කළැයි ද ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවට පසුගිය දා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළේය.

ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතාගේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිප දෙනකුට සහ අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රවෘත්ති පළ කර ඇති බව කියමින් ශ්‍රී ජයවර්ධනපුර මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 14ක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ එම පෙත්සම් සලකා බලා එම කරුණු අනුව අධිකරණයට අපහාසයක් වී ඇත්නම් වෙබ් අඩවි කර්තෘවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමිනි.

එස්. බී. අධිකරණයට අපහාස කිරීම:

මීට පෙර ඇමැති එස්. බී. දිසානායක මහතා ද අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙවැනිම පෙත්සමක් සහ ඊට අදාළ වීඩියෝ පටය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි නෛසර්ගික බලය උපයෝගී කරගෙන එහි දී දිසානායක මහතාට එරෙහිව කටයුතු කෙරිණි.

ඒ අනුව ඔහුට බන්ධනාගාරගත වීමට සිදු විය.

එහි දී දිසානායක මහතා වෙතින් අධිකරණයට අපහාස වන අන්දමෙන් පාවිච්චි කර තිබුණේ ‘බලු තීන්දු’ යන වචන 2 ක් පමණි.

මේ තත්ත්වය හමුවේ සඳරුවන් සේනාධීර මහතාට එල්ල කර ඇති චෝදනා ඉතා බරපතළය.

රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට :

කෙසේ නමුත් සඳරුවන් සේනාධීර මහතාගේ මාධ්‍ය භාවිතය ගැන කවර විවේචන තිබුණත් හෙතෙම දූෂණ වංචා අකටයුතුකම් සම්බන්ධයෙන් අභීතව තොරතුරු ඉදිරිපත් කළ මාධ්‍යවේදියකු වන අතර පසුගිය දූෂිත රාජපක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා විශේෂ මැදිහත් වීමක් සිදු කළේය.

ලංකාවේ මාධ්‍ය ඉතිහාසයේ යම් ඓතිහාසික වැඩ කොටසක් ඔහු ඉටු කළ බවට විවාදයක් නැත.

මෙරට දී ඔහුට එල්ල වූ මරණීය තර්ජන සහ එම මාධ්‍ය ආයතනය ගිනි තබා විනාශ කිරීම පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී සිදු විය. ජීවිත ආරක්ෂාව පතා ඔහුට විදේශගත වීමට සිදු වූයේ ඉන් අනතුරුවය.

එමෙන්ම ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කෙරුණු අතර එහිම මාධ්‍යවේදියකු වූ ශාන්ත විජේසූරිය විනාශ කිරීම සඳහා අවස්ථා ගණනාවක දී උත්සාහ කර තිබිණි.

එහෙත් මේ දක්වා එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට හෝ වත්මන් පාලනයට හැකියාවක් ලැබුණේ නැත.

මාධ්‍යවේදීන් 16 ක් ඝාතනය කරලා :

එමෙන්ම මහින්ද රාජපක්ෂ සමයේ දී මාධ්‍යවේදීන් 16 දෙනකු ඝාතනය කිරීමටත් 87 දෙනකුට පහර දීමත් මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම හා මාධ්‍යවේදීන් අතුරුදන් කිරීමත් සිදු විය.

එමෙන්ම වෙබ් අඩවි ගණනාවකටම මෙරට පිවිසුම් හැකියාව අත්හිටවනු ලැබූ අතර වෙබ් මාධ්‍යකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තර්ජනය කිරීම ද සිදු විය.

එහෙත් මේ සම්බන්ධයෙන් කිසිදු සාධනීය මැදිහත් වීමක් යහපාලන ආණ්ඩුවෙන් සිදු නොවීය.

අවහිර කර තිබූ වෙබ් අඩවි ඉන් නිදහස් කළ ද යහපාලනය යටතේ ද යළි වෙබ් අඩවි අවහිර කිරීම ගැන වාර්තා විය.

යහපාලනයේ උච්ච අවස්ථාවක් :

සඳරුවන් සේනාධීර වත්මන් පාලනයේ දූෂණ වංචා රැසක් ද හෙළි කිරීම සඳහා සිය මාධ්‍ය නොබියව පාවිච්චි කිරීම ඔහුට එරෙහිව වන රාජ්‍ය මර්දනය දියත් වීමට හේතුවක් බව මේ වන විටත් මාධ්‍ය සංවිධාන සහ සිවිල් සංවිධාන මත පළ කරමින් සිටී.

මාධ්‍ය නිදහසට කිසිදු බාධාවක් නොකරන්නේ යැයි කියමින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුව යටතේ මාධ්‍ය කෙරෙහි එල්ල වන පීඩනය පසුගිය කාලයේ වැඩි වෙමින් පැවැති අතර 'ඊ නිව්ස්' වෙබ් අඩවි කර්තෘවරයාට එරෙහි ක්‍රියාමාර්ගය එහි උච්ච අවස්ථාවකි.

එමෙන්ම අන්තර්ජාලය මාධ්‍ය ලෙස ක්‍රියාත්මක වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය පාලනය කිරීමට නව පනතක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වීම යහපාලනයට යහපතක් වන්නේ නැත.

කෙසේ නමුත් මෙම යෝජනාව පසුගිය දා කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡාවට ගැනුණ අවස්ථාවේ දී මංගල සමරවීර මහතා ආණ්ඩුවට හූ කියනව නම් ඊට වඩා හයියෙන් හූ කියා එය යටපත් කිරීම මිස ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීම කිසිසේත්ම තමන් අනුමත නොකරන බව දැඩිව පවසා තිබුණු බව ද වාර්තා විය.

(සත්හඬ)