සිසුවියකට අතවර කළ ටියුෂන් ගුරා රිමාන්ඩ්

සිසුවියකට අතවර කළ ටියුෂන් ගුරා රිමාන්ඩ්
දහතුන් හැවිරිදි කුඩා දැරියකට ලිංගික අතවර කළේ යැයි කියන සිද්ධියකට චෝදනා ලැබූ උපකාරක පාසලක විදුහල්පතිවරයකු ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් කපිල දුෂාන්ත එපිටවල මහතා නියෝග කළේය.

මෙසේ බන්ධනාගාර ගත වූයේ මීගමුව සෙත්තපාඩුව ප්‍රදේශයේ පවත්වාගෙන යන උපකාරක පන්තියක විදුහල්පතිවරයකු වන 30 හැවිරිදි එක් දරු පියෙකි.

පෞද්ගලික උපකාරක පන්තියට පැමිණි සිසුවන්ට ගණිතය හා විද්‍යාව යන විෂයයන් උගන්වා කාලය අවසන් වූ පසු පැමිණ සිටි අනෙක් සිසුන් නිවෙස්වලට යවා අතවරයට ලක් වූ සිසුවියට වැඩි දුර අධ්‍යාපනය ලබා දීමට බව පවසා යාබද කාමරයක් වෙත සිසුවිය කැදවාගෙන ගොස් සැකකරු සිසුවියගේ ඇඳුම් ගලවා නිරුවත් කරන ආකාරය එම උපකාරක පන්තියට එන වෙනත් සිසුවියකගේ මවක් දැක තිබේ. එයින් කලබලයට පත් සැකකරු එම ස්ථානයෙන් පැන ගොස් අතුරුදන් වී තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන කරමින් සිටියදී පසුගිය 18 වැනි දින සැකකරු පොලිසියට භාර වූ බව පොලිසිය පවසයි.

මීගමුව පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති පී. ඩී. ලක්මාලි මෙනවිය හා සැරයන් ජිනදාස (49241) මහතා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවීය.