අල්ලස් නඩුවකට දුමින්ද සිල්වා 5දා අධිකරණයට

දුමින්ද සිල්වා
භාරත ලක්ෂ්මන් ඝාතන සිද්ධියට අදාළව මරණ දඬුවම ලබා සිරදඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා 2013 වර්ෂයට අදාළව වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ අල්ලස් නඩුවට ජනවාරි 05 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ඊයේ (01) බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.

නඩුව ඊයේ (01) කැඳ වූ අවස්ථාවේ දී විත්තිකාර දුමින්ද සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර පැමිණිල්ල අධිකරණයට දන්වා සිටියේ සිර අංක 19189 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ 7781 / 15 මහාධිකරණ නඩු අංකය යටතේ විත්තිකරු මරණ දඬුවම ලබා දැනට සිරදඬුවම් විඳිමින් සිටින බවය.

40/8 පෙරේරා මාවත, පැලවත්ත, බත්තරමුල්ල පදිංචි අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම 2015/12/28 වැනි දින මේ වත්කම් බැරකම් පනතට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීය. වර්ෂ 2013/3/31 සිට 2013/6/31 දක්වා කාල පරිච්ඡේදය තුළ දී වත්කම් බැරකම් පනතට අදාළ වන තැනැත්තකු ලෙස විත්තිකරු සාධාරණ හේතුවක් නොමැතිව සිය වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් නොකිරීමෙන් 1975 අංක 1 දරන වත්කම් බැරකම් පනතේ 9 (1) වගන්ති ප්‍රකාර වරදක් සිදු කර ඇති බව පවසමින් අල්ලස් කොමිසම නඩු පවරා ඇත. නියෝජ්‍ය පාර්ලිමේන්තු මහ ලේකම් ඩබ්ලිව්. එම්. නීල් පරාක්‍රම ඉද්දවෙල මහතා ඇතුළු තිදෙනකු සාක්කිකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමිසම නඩු භාණ්ඩ 4ක් නම් කර තිබිණ.

ඉකුත් ජනවාරි 1 අධිකරණ නොතිසි මත අධිකරණය හමුවේ පෙනී සිටි දුමින්ද සිල්වා මහතා රුපියල් 10,000 මුදල් හා ලක්ෂ 10ක ශරීර ඇපයක් මත අධිකරණය මගින් මුදා හැර නඩුව විභාගය සඳහා කල් තැබිණ.

ඒ අනුව ඊයේ (01) අධිකරණයේ පෙනී නොසිටි දුමින්ද සිල්වා මහතා සම්බන්ධ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ලබන ජනවාරි 05 විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.
English Edition Click Here
(Lanka Hot News)