දිමුත්ගේ ශතකයෙන් සිම්බාබ්වේ ඉලක්‌කය දිගුවෙයි

දිමුත් කරුණාරත්න
දිමුත් කරුණාරත්නගේ ශතක ඉනිම කරණ කොටගනිමින් ගොඩනැගුණු ශ්‍රී ලංකා කණ්‌ඩායම සිම්බාබ්වේ සමග පැවැත්වෙන පළමු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ සිව්වන දින අවසන් වීමට තවත් පන්දුවාර 42 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 4 ක්‌ දැවී ලකුණු 201 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

ඒ අනුව පළමු ඉනිමේ ලද ලකුණු 164 ක වාසිය සමග ශ්‍රී ලංකා පිල මේවනවිට ලකුණු 365 ක්‌ සිම්බාබ්වේ පිලට වඩා ඉදිරියෙන් වේ.

ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 102 ක්‌ හා ධනංජය ද සිල්වා ලකුණු 47 ක්‌ද වශයෙන් රැස්‌කරගෙන සිටියහ.

ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව 17 ක්‌ වන විට පළමු කඩුල්ල වශයෙන් කෞෂාල් සිල්වා දැවී ගියේය. කාල් මුම්බා යවන ලද පන්දුවක්‌ කෙලින්ම කඩුල්ලේ වැදීම මත කෞෂාල් දැවී යන විට ලකුණු 7 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

අනතුරුව පිටියට පිවිසි පළමු ඉනිමේ ශතකයක්‌ වාර්තා කළ කුසල් පෙරේරාටද වැඩිවෙලා කඩුල්ලේ රැඳී සිටීමට සිම්බාබ්වේ පන්දු යවන්නන්ගෙන් අවස්‌ථාවක්‌ නොලැබුණු අතර ඔහුටද ලකුණු 17 ලබා සිටියදී පිටියෙන් ඉවත් වන්නට සිදුවිය.

තෙවන කඩුල්ල වෙනුවෙන් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්‌ ලකුණු 39 ක සබඳතාවයක්‌ පිහිටුවීය. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 111 ක්‌ වනවිට කුසල් මෙන්ඩිස්‌ ලකුණු 19 කට දවා ගැනීමට කාල් මුම්බා සමත් විය.

මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 6 ක්‌ එකතුවනවාත් සමගම නැවතත් ක්‍රියාත්මක වූ කාල් මුම්බා ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල වශයෙන් උපුල් තරංගව එක්‌ ලකුණකට දවාගනු ලැබුවේ සිය කඩුලු සංඛ්‍යාව තුනක්‌ දක්‌වා වැඩිකර ගනිමිනි.

කෙසේ නමුත් එක්‌ අන්තයකින් සිය කඩුල්ල රැකගනිමින් නැංගුරම් ඉනිමක්‌ ක්‍රීඩාකළ දිමුත් කරුණාරත්න සිය සිව්වැනි ටෙස්‌ට්‌ ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 103 ක්‌ රැස්‌කර ගත්තේය.

පන්දු 166 ක්‌ තුළ වාර්තා වූ අදාළ ලකුණු සංඛ්‍යාව සඳහා හතරේ පහර 6 ක්‌ අන්තර්ගත වී තිබුණි.

එහිදී දිමුත්ට අගනා සහයක්‌ ලබාදුන් ධනංජය ද සිල්වා පන්දු 60 කදී හතරේ පහර 4 ක්‌ හා එක්‌ හයේ පහරක්‌ සමගින් නොදැවී ලකුණු 47 ක්‌ රැස්‌කරගෙන සිටියේය.

ලකුණු සටහන

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම පන්දුවාර 52 කදී කඩුලු 4 ක්‌ දැවී ලකුණු 201 යි. (දිමුත් කරුණාරත්න (නොදැවී ) 103, ධනංජය ද සිල්වා (නොදැවී) 47, කෞෂාල් සිල්වා 7, කුසල් පෙරේරා 17, කුසල් මෙන්ඩිස්‌ 19, කාල් මුම්බා 3/43)