ඉඩෝරය නිම කරමින් පෙදෙස් රැසක මහ වැසි

පැවැති දැඩි නියං සමය නිම කරමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවකට පෙරේදා (13) සිට වැසි ඇදවැටෙමින් තිබේ.

කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව ඊයේ(14) පස්වරු 1.00 වන විට ලබා ගෙන ඇති තොරතුරු අනුව රට තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලි මීටර් 76.2 ලැබී ඇත්තේ යටියන්තොට මාලිබොඩ ප්‍රදේශයටයි.මහියංගණයට ද මිලි මීටර 64.9 ක වර්ෂාපතනයක් ලැබී ඇත.

නැගෙනහිර ,මධ්‍යම හා උතුරු මැද පළාත්වලින් මඳ වැසි මෙන්ම ගිගුරුම් සහිත වැසි ද ලැබී ඇති අතර බස්නාහිර සබරගමුව පළාත්වලින්ද ගාල්ල සහ වවුනියාව දිස්ත්‍රික්කවලින්ද තැනින් තැන මඳ වැසි ලැබී තිබේ. රජරට පළාතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ලැබුණු අතර ඒ අනුව පොලොන්නරු දිස්ත්‍රික්කයට මිලි මිටර් හතයි දශම එකක වර්ෂා පතනයක් ලැබි තිබේ. ත්‍රිකුණාමලයට මිලි මිටර් 34.7ක් ද, මඩකළපුවට 4.8ක වර්ෂාපතනයක් ද ලැබී තිබිණී.

එසේම වියළි කාලගුණික තත්වයෙන් ජනතාව පීඩා විඳි අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන, පදවිය, කැබතිගොල්ලෑව, කහටගස්දිගිලිය ඇතුළු ප්‍රදේශ කිහිපයට සුළං හා තද වැසි ඇදවැටුණු අතර මේ නිසා ඒ ප්‍රදේශයන්හි ගස් කඩා වැටිම්ද වාර්තාවිය.