කෘෘර දියණියක් අම්මා කුකුල් කූඩුවක දාලා

කුකුල් කූඩුව
වන්නිකුඩාවැව, කුඩාවැව ප්‍රදේශයේ නිවෙසක් පිටුපස කුකුළු කොටුවක රඳවා සිටි වයස අවුරුදු 85ක මාතාවක් ඊයේ (25දා) දහවල් සොයා ගෙන ඇය රෝහල් ගත කළ බව ගල්ගමුව පොලිසිය කීය.

මේ මවට කෘෘර ලෙස සැලකීමේ චෝදනාව මත ඇගේ දියණියක සැකමත අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය.
සැකකාර දියණියගේ නිවෙසට අඩි 20ක් පමණ පිටුපසට වීමට ඇති අත්හැර දමන ලද කුකුළු කූඩුවක මව රඳවා සිටි බව පොලිසිය කීය. ඒ කුකුළු කොටුව අඩි 12×8 ප්‍රමාණයේ එකක් බවත් පොලිසිය එහි යන විටත් ප්ලාස්ටික් පුටුවක මව වාඩි කරවා සිටි බවත් පැවැසේ.
පොල් අතු සෙවිලි කළ වහලයක් සහිත මේ කුකුළු කොටුවේ පොල් අතු දිරාපත්ව ඇති බවත් දිරාපත් වූ පොල් අතු උඩින් ඉටි රෙදි දමා තිබූ බවත් පොලිසිය කීය. වහලයේ ලීයකට දැමූ දම්වැලක්ද එහි තිබූ බවත් ඒ ගැන ප්‍රශ්න කිරීමේදී මව රාත්‍රි කාලයට ඇවිදින නිසා ඇයව බැඳ තැබීමට දම්වැල යොදාගත් බවත් සැකකාරිය කී බව පොලිසිය කීය.

වයෝවෘද්ධව ඇවිදීමට නොහැකිව කුදු ගැසී සිටින්නියක වන මේ මවට බෙහෙත් රැගෙන දුන්නේ නැද්දැයි පොලිසිය සැකකාරියගෙන් විමසූ විට මීට අවුරුදු විස්සකට පමණ පෙර ප්‍රතිකාර ලබා දුන් බව ඇය පවසා ඇත.
මව මල මුත්‍රා ආදිය පිටකර ඇත්තේද කුකුළු කොටුවේම බවත් ඒ නිසාම එහි දැඩි දුර්ගන්ධයක් පැවැති බවත් පොලිසිය කීය.
කුකුළු කොටුවේ සිට සොයාගත් එන්.එම්. එච්. උම්මා නමැති මව ගල්ගමුව මූලික රෝහලට ඇතුළත් කළ බවත් සැකමත අත්අඩංගුවට ගත් ඇගේ දියණිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.

මේ දියණිය වාසය කරන නිවෙස කාමර හතරක්, සාලයක්, මුළුතැන්ගෙයක් සහිත එකක් බවද ඇයත් සමඟ දරුවන් තිදෙනකු, වයෝවෘද්ධ මවට සිටින බවත් පොලිසිය කීය.
කුකුල් කූඩුව