බාල වයස්කාර දැරිය ගැබිනියක් !

දැරිය ගැබිනියක්
තම මව හමුවීමට රාත්‍රි කාලයේ මිනිසුන් පස් දෙනකු නිවෙසට පැමිණෙන බවත් එලෙස කෑගල්ල ප්‍රදේශයෙන් මව හමුවීමට පැමිණි පුද්ගලයකු තමා දූෂණය කළ බවත් ඒ හේතුවෙන් තමා මේ වන විට ගැබිනියක බවට පත්ව සිටින බවත් පවසමින් වයස අවුරුදු පහළොවක පමණ බාල වයස්කාර දැරියක් කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරි හා සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ. කේ. කීර්තිරත්න මහතාට පැමිණිල්ලක් යොමු කොට තිබේ.

බාල වයස්කාර දැරිය සිය පැමිණිල්ල මඟින් තවදුරටත් පරිවාස නිලධාරි කීර්තිරත්න මහතාට පවසා ඇත්තේ තම පියා රිය අනතුරකින් මිය ගොස් සිටින බවත් තමා මව සමඟ නිවෙසේ ජීවත් වන බවත්ය.

මව හමුවීමට පුද්ගලයන් පස් දෙනකු පමණ වරින් වර සෑම දිනයකම පාහේ රාත්‍රි කාලයේ තම නිවෙසට පැමිණෙන බවද ප්‍රකාශ කොට ඇති මේ දැරිය මේ නිසා තමන්ට මහත් මානසික පීඩනයක් ඇතිවී ඇති බවත් පැමිණිල්ල මඟින් කියා ඇත. තමා දැනුවත්ව දැනට විවිධ පුද්ගලයන් දස දෙනකුට වැඩි ප්‍රමාණයක් මව හමුවන්නට නිවෙසට පැමිණ ඇති බවද දැරිය පැමිණිල්ල මඟින් පවසා තිබේ.

දිනක් මව හමුවීමට කෑගල්ල ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයකු මව දියනෑමට ගිය අතරේ තමා දූෂණය කළ බවත් ඒ නිසා මේ වන විට තමාට දරුවකු ලැබීමට සිටින බවත් පැමිණිල්ල මඟින් පවසන බාලවයස්කාර දැරිය මව හමුවීමට පැමිණ එසේ තමා දූෂණය කළේ රුවන් කපිල නමැත්තකු බවද සඳහන් කොට තිබේ.

දැරියගේ මේ පැමිණිල්ල පිළිබඳව පොලිසිය මඟින් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ පැමිණිල්ල කැබිතිගොල්ලෑව ජේ‍යෂ්ඨ පරිවාස නිලධාරි කේ.කේ. කීර්තිරත්න මහතා විසින් හොරොව්පොතාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කොට තිබේ.

කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරිවරයාට යොමු කර ඇති මෙම පැමිණිල්ලට අමතරව දැරියගේ මිත්තණිය විසින් මේ සම්බන්ධයෙන් තවත් වෙනමම පැමිණිල්ලක් හොරොව්පොතාන පොලිසියටද යොමු කර ඇත. කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරි කේ.කේ. කීර්තිරත්න මහතා සහ හොරොව්පොතාන පොලිසිය මේ සම්බන්ධයෙන් වෙන් වෙන්ව විමර්ශන දෙකක් සිදු කරයි.