සුසන්තිකාට පහරදීමට සම්බන්ධ නඩුව සමථ මණ්ඩලයට

සුසන්තිකා
ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියාට විරුද්ධව ඇති නඩුව ඊයේ (20දා) ගම්පහ අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ සුසන්තිකාට එම පහරදීමෙන් බරපතළ නොවන තුවාල සිදුව තිබූ බවට වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ වැලිවේරිය පොලිසිය නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කරන ලෙසට ඉල්ලීමක් කළේය.

නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කළ ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය එම නඩුව ලබන වසරේ මාර්තු මස 2 වැනිදාට නැවැත අධිකරණයේ කැඳවන ලෙසට නියම කළාය.

2016 ජුනි 18 වැනි දින අලුයම් කාලයේදී වැලිවේරිය දකුණු ඇඹරළුව ප්‍රදේශයේ ඉදිකරන නිවෙසක සිටියදී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහරදීම සම්බන්ධව ඇගේ සැමියා වූ කේ. ධම්මික නන්ද කුමාර යන අය වැලිවේරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු ඉකුත් ජුනි මස 18 වැනිදා ගම්පහ අධිකරණයෙන් මුදාහරින ලෙසට නියම කර තිබිණි.

ඊයේ (20දා) නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ධම්මික නන්ද කුමාර යන අය සහ ඔහුගේ බිරිය වූ පැමිණිලිකාර සුසන්තිකා ජයසිංහ මහත්මියද අධිකරණයේ පෙනී සිටියහ.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 316 සහ 314 වගන්ති යටතේ සැකකරු වැලිවේරිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර 316 වගන්තිය යටතේ (බරපතළ නොවන තුවාල) සහ 410 වගන්තිය යටතේ (අනර්ථයක් සිදුකිරීම) සිදුකර ඇති වැරැදි සමථ මණ්ඩලය වෙත යොමු කළ හැකි වැරැදි හෙයින් එම නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කරන ලෙසට වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රෝහණ මුණසිංහ මහතා සමඟ පැමිණිල්ල මෙහෙයවූ සැරයන් ජයලත් (55392) මහතා වැඩිදුර වාර්තාවක් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කෙරිණි.