දිල්රුක්ෂිගේ අස්වීම ජනපති පිළිගනියි

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් බාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සිය ඉල්ලා අස්වීම භාරදී ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියවන දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට අද ආණ්ඩුවෙන් දැඩි චෝදනා එල්ල විය.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ චෝදනා එල්ල කළේ, ඊයේ කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි කියන කරුණු පදනම් කර ගනිමිනි.

ඩුබායි ගිණුමේ රහස් එලියට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පවුලේ සාමාජිකයන්ට ඩුබායි නගරයේ බැංකු ගිණුම් තිබී යැයි සඳහන් චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක කෙරුණු පරීක්ෂණ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ක්‍රියාපිළිවෙත නිසා අඩපණවූ බවට චෝදනා නැගූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා, වරක් ජනාධිපතිවරයා අත්සන් කළ රහස්‍ය ලේඛනයක තොරතුරු ද ඇය මාර්ගයෙන් පිටතට නිකුත්වී ඇතැයි පැවසීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කල ඇමතිවරයා, රාජපක්ෂවරුන්ට අයත් බව කියන ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා දිනක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට පැමිණි බවත්, ඇය ගොස් පැයක් යද්දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලැබුණු බවත් එහිදී අනාවරණය කළේය.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම පරීක්ෂණ සඳහා සහය වන ලෙසට ඩුබායි වෙත යැවීමට සැකසූ ලිපියක් රැගෙන ජනාධිපතිවරයා හමුවී ඒ සඳහා අවශ්‍ය අත්සන ගැනීම යනාදිය සිදුකරගෙන ගිය බව පැවසු ඇමති රාජිත සේනාරත්න මහතා, එසේ පිටත්ව ගිය පසු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ඩුබායි ගිණුම ගැන පරීක්ෂණ කිරීම සඳහා ලිපියකට අත්සන් තැබූවේදැයි විමසීමක් කර ඇතැයිද ඒ බව ජනාධිපතිවරයා තමන්ට පැවසුවේ යැයිද සඳහන් කළේය.

මෙම සිද්ධියත් සමග දූෂණ වංචා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල විනිවිධභාවය ගැන ගැටළු මතුවන්නේ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය මාධ්‍ය දැඩි විවේචනයට :

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය අප්‍රසාදය පළ නොකළ බව ඔහුගේ කතාව ඇතුළත් සම්පුර්ණ වීඩියෝව නරඹන ඕනෑම අයෙකුට දැකිය හැකි බවය.

නාවික හමුදාපතිවරුන් අධිකරණයට ගෙනයාම පිළිබඳව කළ ඒ ප්‍රකාශයට ගෝඨාභය රාජපක්ෂ මහතාව ද එකතු කළේ මාධ්‍ය බවට ඇමති රාජිත සේනාරත්න මහතා චෝදනා නැගීය.

රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරීත්වය ද ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට බඳුන්වූ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.