උලපනේ ඉඩම විඡේවීර බිරිඳට නොලැබේ

Wijeweera's House cannot be given to family
ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විඡේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර මහත්මිය කර තිබූ ඉල්ලීම, එම දේපළ රාජසන්තක කරන ලද දේපළක්‌ හෙයින් ඉටු කළ නොහැකි බව ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි මහතා විසින් දැනුම් දී ඇත.

රෝහණ විඡේවීර මහතාගේ අභාවයෙන් පසුව විඡේවීර මහත්මිය මෙතෙක්‌ රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව යන හෙයින් තමන් හා දූදරුවන් වෙත මෙය ලබා දෙන්නැයි ඇය ඉල්ලා ඇති බව නාවලපිටිය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

ජනාධිපතිවරයා හා ආරක්‌ෂක අමාත්‍යාංශය මඟින් විඡේවීර මහත්මිය මෙම ඉල්ලීම කර තිබුණි. ඒ අනුව ඉඩම් කොමසාරිස්‌වරයා ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ කරුණු විමසීමකදී මෙහි පවතින වර්තමාන ගැටලු පැහැදිලි කොට ඇත.

ඒ අනුව 1990.05.15 දින 110/02 දරණ ගැසට්‌ පත්‍රය අනුව මහජන ආරක්‌ෂක පනතේ 41 (අධිකාරි) 5 වගන්තිය අනුව ජනාධිපති නියෝගය පරිදි මෙම දේපළ රාජසන්තක කර ඇති බවත්, එසේ රාජසන්තක කිරීමෙන් පසු එය තරුණ සේවා සභාව යටතේ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන යන බව දන්වා ඇත.

මෙම පුහුණු මධ්‍යස්‌ථානයේ වසරකට සිසු සිසුවියන් 1000 ක්‌ පමණ අධ්‍යාපනය ලබන බවත්, එහි හයමාසක පාඨමාලා 19 ක්‌ ඇති බවත්, තරුණ සේවා සභාව යටතේ මෙම ස්‌ථානය තව තවත් සංවර්ධනය කිරීම සඳහා අසල ඇති පුද්ගලික ඉඩමක්‌ද ලබා ගෙන ඇති බවත්, ඒ අනුව මෙම දේපළ නැවත ලබා දීම ගැටලු සහගත බවත් දන්වා ඇත.
English Edition Click Here
(Lanka Hot News)