ඊයේ රෑ ඉඳන් වැට් එක වැඩ

වැට්
වැට් බදු සංශෝධනය ඊයේ (26දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයි මුදල් ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.ඒ අනුව වැට් බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 15ක් වනු ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ගාස්‌තු, දුම්කොළ ඇතුළු භාණ්‌ඩ රැසක වැට්‌ බද්ද සියයට හතරකින් වැඩිවන අතර සෞඛ්‍ය හා රෝහල්, තැපැල්, නිවාස හා ස්‌මාට්‌ ෆොaන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ අසූඑකක්‌ සඳහා මෙම වැට්‌ බදු වැඩිවීම අදාළ නොවන බව මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම බදු වැඩි කිරීම මගින් මෙම වසරේ රුපියල් කෝටි 180 ක ආදායමක්‌ අපේක්‍ෂා කෙරේ.

වැට්‌ පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 112 ක්‌ ද විරුද්ධව ඡන්ද 46 ක්‌ද ලැබිණි. මන්ත්‍රීවරු 65 ක්‌ සභාවට පැමිණ සිටියේ නැත.

විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරු ජවිපෙ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය දුන් අතර ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු සභා ගැබට පැමිණ සිටියේ නැත.

ඡන්දය විමසන මොහොතේ විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරු සිය ගෙලෙහි කළුපටි පැළඳ සිටින අයුරු දක්‌නට ලැබිණි. ඊයේ දවස පුරා පැවැති විවාදයට එක්‌වෙමින් ජවිපෙ හා විපක්‍ෂයේ එජනිස මන්ත්‍රීවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු කතා කළහ. ආණ්‌ඩු පක්‍ෂය වෙනුවෙන් එජාප මන්ත්‍රීවරු කතා කළ මුත් පිළිතුරු කතාව කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා හැරෙන්නට ආණ්‌ඩුවේ එජනිස මන්ත්‍රීවරු කිසිවෙක්‌ වැට්‌ පනත පිළිබඳ විවාදයට එක්‌ව කතා නොකළහ. තිරිඟු පිටි, සහල්, සීනි, පරිප්පු, තිරිඟු, කරවල, ටින් මාළු, උම්බලකඩ, කුළු බඩු, පාන්, දියර කිරි, තේ, රබර්, පොල්, පොල් කිරි, පොල් තෙල්, ඉස්‌සො, බිත්තර කරවල, පලතුරු, එළවළු, අල, හාල්මැස්‌සන්, රතු ලූනු, සුදු ලූනු, බී ලූනු, මුංඇට, මිරිස්‌, කව්පි, කඩල, උඳු, කොත්තමල්ලි, රට කජු, පොහොර, ඖෂධ, ඖෂධ නිෂ්පාදන යන්ත්‍ර, ඖෂධ නිපදවන උපකරණ, ඖෂධ ඇසුරුම් උපකරණ, ආයුර්වේද සැකසීම, රෝද පුටු, අත්වාරු, ශ්‍රවණ උපකරණ, සුදු සැරසිටි, බ්‍රේල් යන්ත්‍ර, බ්‍රේල් කඩදාසි, කණ්‌ණාඩි රාමු, කණ්‌ණාඩි නිපදවීමේ අමුද්‍රව්‍ය, බාහිර රෝගී සේවා, කාන්දුකරන සේවා හා රෝග විනිශ්චය කිරීමේ පරීක්‍ෂණ, සැත්කම් සේවා, සීසර්, ගමනාගමන සේවා, ඩීසල්, භූමිතෙල්, පෙට්‍රල්, ගුවන් යානා තෙල්, නිෂ්පාදන බදු ඇතුළත් වාහන, බවුසර්, කෘෂිකාර්මික බීජ, කෘෂිකාර්මික පැළ, කෘෂිකාර්මික යන්ත්‍ර, ට්‍රැක්‌ටර්, බේකරි නිෂ්පාදන යන්ත්‍ර, ධීවර උපකරණ, හරිතාගාර ඉදිකිරීමේ වී කෙටීමේ යන්ත්‍ර කිරි සැකසීමේ යන්ත්‍ර, උපකරණ, විදුලිය, සුර්ය බලය, විදුලිය ආරක්‍ෂා කිරීමේ බල්බ්, පරිගණක උපාංග, අධ්‍යාපන සේවා, පරිගණක මෘදුකාංග, ක්‍රීඩා උපකරණ, ජීවිත රක්‍ෂණ මුද්‍රිත පොත්, ජංගම දුරකථන, මැණික්‌, මුතු, දියමන්ති, රත්තරන්, ප්ලැටිනම්, පුස්‌තකාල සේවා, නිවාස ඉඩ පහසුකම් කුලියට හෝ බද්දට දීම වැනි භාණ්‌ඩ හා සේවාවන්ට වැට්‌ බදු වැඩිවීම අදාළ නොවන බව මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්දය විමසන ලදී.

පනත් කෙටුම්පතට විපක්‍ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ප්‍රතික්‍ෂේප කළේය. ආණ්‌ඩුව ඊට සංශෝධන කිහිපයක්‌ එක්‌ කළේය.

සංශෝධනවලින් පසුව යළි ඡන්ද විමසීමක්‌ අවශ්‍ය බව විපක්‍ෂය ප්‍රකාශ කළේය. ඒ අනුව පනත් කෙටුම්පත තුන්වැනි වරට කියවීමේදී ඡන්ද විමසීමක්‌ සිදුකරන ලදී. ඒ අනුව පෙළින් පෙළට ඡන්ද විමසීම සිදුකළේය. පනත් කෙටුම්පත තුන්වැනි වරට කියෑවීමට පක්‍ෂව ඡන්ද 76 ක්‌ද විරුද්ධව ඡන්ද 23 ක්‌ද ලැබිණි. එහිදී වැඩි ඡන්ද 53 ක්‌ ලබමින් සංශෝධන සහිතව වැට්‌ පනත් කෙටුම්පත සම්මත විය. පළමුවර ඡන්ද විමසීමේදී සභා ගැබේ සිටි මන්ත්‍රීවරු රැසක්‌ දෙවැනි වර ඡන්ද විමසන අවස්‌ථාවේදී සභා ගැබේ නොසිටියහ.
English Edition Click Here