මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි

"අද මෙයාලා දෙන්නා එක්වෙලා මේ රට දෙකඩ කඩන්න කෑලිවලට කඩන්න හදනවා" යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

"ඇමතිවරු පස්සෙත් සීඅයිඩිය දානවා මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගේ ඉස්සරහත් ඒකකයක් දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා. මම කිව්වා ඇවිල්ලා පුටුවක් තියලා ලියා ගන්නවා කියලා. මොකද මම රහසේ කුමන්ත්‍රණ කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා එළියේ ගහන්නේ. ඒ නිසා ඒ ගැරන්ටිය අපිට දෙන්න පුළුවන් රෑට ආප්ප කාලා ‍කරන්නේ නෑ " යැයිද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රත්නපුරේදී අද පස්වරුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළිය අමතමින් කියා සිටියේය.

රණවිරුවන් බේරාදුන් රට බෙදන්න - විනාශ වෙන්න නොදී රැකගත යුතු බව ද බණ්ඩාරනායක මහතා හැදූ පක්ෂය අද අලියාගේ පස්ස පැත්තේ එල්ලා ඇති බවද හිටපු ජනාධිපතිවරයා පැවසුවේය.

සිරිසේන ජනාධිපතිවරයා මේ සෙනඟ දුටුවානම් පවිත්‍රා ඉවත් කිරීම ගැන කනගාටුවනු ඇතැයිද "ඔබට ඕනදේ දෙන්න මම ලෑස්තියි" යැයිද ආණ්ඩු පක්ෂයට ගිය අය වැඩිකල් යාමට කලින් අපේ පැත්තට ඇවිත් ඉඳගන්නා බවද ඔහු කීවේය.

පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන වෙනස් කිරීම එතරම් කජ්ජක් නොවේ යැයිද වැඩිකල් යාමට කලින් එය සිදුවේවී යැයිද හෙතෙම පැවසීය.

"අරගලයට පණ පොවන නව ජනතා බලවේගය" නමින් ඒකාබද්ධ විපක්ෂය මෙම රැළිය සංවිධානය කර තිබිණ.

මහ සංඝරත්නය ඇතුළුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, රංජිත් සොයිසා, උදය ගම්මන්පිල, පවිත්‍රාවන්නි ආරච්චි, වාසුදේව නානායක්කාර, කෙහෙළිය රඹුක්වැල්ල, කුමාර වෙල්ගම, විමල් වීරවංශ, දිලුම් අමුණුගම, සී.බී රත්නායක, දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් ජනරැළියට එක්ව සිටියහ.

එම රැළිය අමතා කතිකයින් ගණනාවක් අදහස් පළ කළ අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් පහත පරිදිය.

අසනීප තත්ත්වයෙන් සිටි තමන් පවිත්‍රදේවී මැතිනියගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළ නොහැකි නිසාත්, රට බේරාගැනීමේ අරමුණ නිසාත්, රත්නපුරට පැමිණි බව එම රැස්වීම ඇමතු පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා මේ රට බාරගත යුතු යැයි ද ඔහු සමග එක්වී මේ ආණ්ඩුව පළවා හැරීමට කටයුතු කරමු යැයිද උන්වහන්සේ එහිදී පැවසීය.

මහින්ද රාජපක්ෂ සමග ඉදිරියට යමු යැයි එම රැස්වීම ඇමතු හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

බුද්ධ චීවරය දරාගත් හිමිවරුන් හා රණවිරුවන් අද සිටින්නේ හිරගෙවල් වල යැයි එහිදී ගායන ශිල්පිනි නීලා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.

රැස්වීම ඇමතු පා.ම ජානක වක්කුඹුර මහතා කියා සිටියේ විග්නේෂ්වරන්ට එක නීතියක් අනෙක් අයට තව නීතියක් ක්‍රියාත්මක වන බවයි.

මේ නිසා මහින්ද සමග නව යුගයක් අරඹමු යැයි එහිදී ඔහු පැවසුවේය.

මෙය සැබවින්ම මෛත්‍රීට එරෙහි විරෝධතා රැළියක් යැයිද එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක හැදූ පක්ෂය අවසන් ගමන් ගෙන යන පිරිසට එරෙහිව මෙම රැළිය හැඳින්විය හැකි බව රැස්වීම ඇමතු පා.ම රංජිත් සොයිසා මහතා කියා සිටියේය.

ජූතක බමුණා ජාලිය - ක්‍රිෂ්ණජිනා දන් දුන්නා සේ ශ්‍රීලනිපය රනිල්ගේ දෙපා මුල තබා දන්දීමට එරෙහිව මෙම රැළිය පවත්වන බව ඔහු පැවසුවේය.

2001 ප්‍රභාකරන් සමග ගිවිසුම් ගැසූ රනිල් මේ රටේ බලයට පත්වුවහොත් නැවතත් මේ රටේ ත්‍රස්තවාදයක් ඇතිවිය හැකි යැයි එදා අපි කියූ බවද විග්නේෂ්වරන්‍ට එරෙහි ක්‍රියාමාර්ගයක් ගැනීමට යහපාලන ආණ්ඩුවට කොන්ද පණ නැති බවද එම රැස්වීම ඇමතු ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.

නිල් අලි ටික මහින්ද සමග සංහිඳියාවක් ඇති කර ගැනීමට කැමති නැති බවද අද රටේ ජනතාව ඉල්ලන්නේ මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂයක් පිහිටුවන්න යැයිද ඒ මහතා පැවසීය.

රැළිය ඇමතු පා.ම කුමාර වෙල්ගම මහතා පැවසුවේ "එද මම යූන්පී ආණ්ඩුවට ‍ගියෙත් නෑ. අදත් මම යන්නේ නෑ හෙටත් යන්නේ නැ" යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අපල දැන් හොඳටම හොඳ බවත්, අපේ නායක හාමුදුරුවන් කේන්දරේ බලලා අවසන් බවත්, ඔහු කියා සිටියේය.

නුදුරු අනාගතයේදීම මහින්ද රාජපක්ෂ මහතාගේ ස්වර්ණමය යුගය එන බවත්, ඡන්දයක් තිබුණොත් පරාජය වී ගෙදරයාමට සිදුවන නිසා මෛත්‍රී - රනිල් තරඟයට ලෝකය බලන්න යන බවත්, එයා යනකුට මෙයා එන බවත්, මෙයා යනකුට එයා එන බවත්, ඒ මහතා
පා.ම උදය ගම්මන්පිල මහතා කීවේය.

ජනාධිපති සිරිසේන පසුගියදා අමෙරිකාවේ ගියේ 73ක් අරගෙන බවත්, ඔහු අමෙරිකාවේ සිට එද්දී රනිල් නවසීලන්තයට යන බවත්, රනිල් එද්දී මෛත්‍රී තායිලන්තයේ ගිය බවත්, මෛත්‍රී එද්දී රනිල් බෙල්ජියමේ යාමට සිටින බවත්, හෙතෙම පැවසීය.

රැස්වීම ඇමතු පා.ම වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය ඒකාබද්ධ ආණ්ඩුවක් බවට පත්කිරීමේ ගමනට අප මුලපුරා සිටින බවයි.

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැරීමේ ගමනට එක්වන්නැයි ද එහිදී ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

බුලත් කොළෙන් ඡන්ද අරන් අලියාගේ වල්ගය එල්ලී සිටින මැති ඇමතිවරුන් බුලත් කොළේ ජනතාවගෙන් පණිවිඩයක් ළඟදීම ලැබෙනු ඇතැයි රැළිය ඇමතු පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මහින්ද ජනපති කාලයේ තිබූ ආර්ථික සංවර්ධනය දැන් කඩා වැටී ඇති බවත්, දේශපාලන ආර්ථික සෑම අතින්ම රට කඩා වැටී ඇති බවත්, ‍හෙතෙම කීවේය.

තමන් සංවිධායක තනතුරින් ඉවත් කළාට "මෛත්‍රී ඔයා මට ක‍ළ අභියෝගයට මම කළේ මේ සුළු සියුම් අභියෝගයක්" යැයි රැළිය ඇමතු පවිත්‍රාවන්නි ආරච්චි මහත්මිය පැවසුවාය.

ශ්‍රීලනිප පාක්ෂිකයින්ගේ හදවත් තුළ ජීවත්වන්නේ ඔබදැයි මහින්දදැයි මෙම ජනතාවගෙන් බලාගත හැකි බවද ඇය පැවසුවාය.

වික්‍රමසිංහ - සිරිසේන - සම්බන්ධන් - විග්නේෂ්වරන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනඑන බවත්, විදේශ ඒජන්තවරු ඊට සහය දෙන බවත්, හූ කියා විසිල් ගසා සිටිය යුතු කාලය මෙය නොවන බවත්, ඊට එරෙහිව කාඩර්වරු ලෙස දිවුරුම්දීමට මෙය අවස්ථාවක් කරගත යුතු බවත් ඇය කියා සිටියාය.

රැළිය ඇමතු පා.ම විමල් වීරවංශ මහතා පැවසුවේ දේශද්‍රෝහි හවුල පළවා හැරීමට ජනතාවට එක්විය යුතු බවයි.

හිටංට හුටංට අවශ්‍ය පරිදි මේ රට බෙදා වෙන්කිරීමට ඉඩනොදෙන බවත්, සියවස් ගණනාවක් රැකගත් මාතෘ භූමියට අත තැබීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බවත්, ඔහු කියා සිටියේය.

එට්කා ගිවිසුම හරහා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොලණියක් වීමට ඉඩනොදිය යුතු බවත්, රනිල් හාමුට විරුද්ධව අනුර මල්ලි කතා නොකරන බවත්, ඔහු පැවසුවේය.

දේශපාලන දඩයම කර මේ සටන නතර කළ නොහැකි බවත්, ජාතියේ නූතන නිදහස් අරගලය මහින්ද රාජපක්ෂ සමග ආරම්භ කළ යුතු බවත්, හෙතෙම අවධාරණය කළේය.

Joint Opposition Rally at Rathnapura