සෙලිනා පුනරුත්ථාපනයට

සෙලිනා ගෝමස් නම්වූ යොවුන් පරපුරේ ආදරය දිනාගත් ගායිකාව ගැන දුක්මුසු පුවතක් අසන්නට ලැබෙනවා. තවමත් 24 වැනි වියෙහි පසුවන සෙලීනා, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින බවයි පැවසෙන්නේ. 

මාස කිහිපයක් තිස්සේ මේ ආරංචිය පැතිරී ගියත්, අද වන විට ඇය රෝගී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි ඇගේ සමීපතමයන් පවසන්නේ. පසුගිය වසරේ ඇගේ සිරුරේ සම මතුපිට රෝගී තත්ත්වයක් ද මතු වුණා.

මේ හේතුවෙන් පසුගියදා සෙලිනාව පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු කරලා. එහිදී ඇයට දින 60ක් තුළදී නේවාසික ප්‍රතිකාර ලබාගන්නට සිදු වෙනවා. 

වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම උපදේශනය ද සෙලිනාට ලබා දීමට කටයුතු කෙරෙන බවයි දැනගන්නට ලැබෙන්නේ. “මෙය විශාල පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් නොවෙයි. කාන්තාවන්ට පමණක් වෙන්වුණ තැනක්. ආගමික කටයුතුවලට වැඩි ඉඩකඩක් වෙන් කෙරෙන තැනක්. ඒ නිසා සෙලිනාට අධ්‍යාත්මික පැත්තට බර වෙලා පුනරුත්ථාපනය ලබන්න හැකි වේවි.” එලෙස කීවේ සෙලිනාගේ සමීපතම හිතවතියක්. සෙලිනා 2014 දීත් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලැබුවා. ඇගේ පවුලේ ඥාතින් සහ හිතවතුන්, හිතවතියන් සැක පහළ කරන්නේ පුනරුත්ථාපනය වන සෙලිනා තවත් ටික කලකින් යළි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වේ ද කියලයි.