ක්‍රිකට් ක්‍රීඩකයන් 30කගේ බෝනස් වැඩිවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළ සංචිතයේ ක්‍රීඩකයන් තිස්දෙනකු සමඟ එකඟත්වයට පැමිණීමට නියමිත ගිවිසුමෙහි කොන්ත්‍රාත්තු අස්සන් කිරීමේ කටයුතු ඉදිරි සතියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

එළැඹෙන සිම්බාබ්වේ ක්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 23දා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්වීමට නියමිත අතර ඉන් පෙර ක්‍රිකට් ආයතනය සමඟ මෙකී ක්‍රීඩකයන් 30 දෙනා ප්‍රධාන කොන්ත්‍රාත්තු සඳහා අස්සන් කළ යුතුව ඇතැයි පැවැසේ.
ඒ අනුව දෙපාර්ශ්වය එළැඹෙන ගිවිසුමෙහි කෙටුම්පත මේ වනවිටත් ක්‍රීඩකයන් අතට ලබාදී ඇති අතර ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව හා අදාළ ක්‍රීඩකයන් අතර ඇතිකර ගන්නා එකඟතාව අනුව නව ක්‍රීඩක වර්ගීකරණය හා ගිවිසුමෙහි කටයුතු නිමාවට පත්වීමට නියමිතය.

වාර්තා වන පරිදි ජාතික කණ්ඩායමට අදාළව කොන්ත්‍රාත්තු අස්සන් කිරීමට ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, රංගන හේරත්, කුසල් මෙන්ඩිස්, කෞෂාල් සිල්වා, ධනංජය ද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, සුරංග ලක්මාල්, දිමුත් කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ලක්‍ෂාන් සඳකැන්, ජෙෆ්රි වැන්ඩර්සේ, ළහිරු තිරිමාන්න, මිලින්ද සිරිවර්ධන, ධනුෂ්ක ගුණතිලක, ලසිත් මාලිංග, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, සචිත්‍ර සේනානායක, සචිත් පතිරණ, උපුල් තරංග, ධම්මික ප්‍රසාද්, ඇන්ජිලෝ පෙරේරා, තිසර පෙරේරා, රොෂේන් සිල්වා, අමිල අපෝන්සු, සීක්කුගේ ප්‍රසන්න හා ෂාමින්ද එරංග යන ක්‍රීඩකයන් 30 දෙනා තෝරාගෙන ඇත. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයන් 30 දෙනාද කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණය කොට ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන අතර පළමු කාණ්ඩය යටතේ එසේ කොන්ත්‍රාත්තු අස්සන් කරන ක්‍රීඩකයන්ට ගෙවනු ලබන වාර්ෂික දීමනාව ඇමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ විසිපන්දහසකි ({ 125,000).

මෙම මුදල් ප්‍රමාණය පසුගිය පෙබරවාරියේදී අවසන් වූ 2015 - 16 වසරේ ගිවිසගත් මුදල වන ඩොලර් එක්ලක්‍ෂ හැටපන් දහසට ({ 1,65,000) වඩා අඩුවීමක් වීමද විශේෂත්වයකි. එසේම එළැඹීමට නියමිත කොන්ත්‍රාත්තුවට අනුව දෙවැනි කණ්ඩායමට ඇතුළත් කරන ක්‍රීඩකයන් හට ගෙවීමට යෝජිත වාර්ෂික මුදල ඩොලර් අසූ දහසක්ද ({ 80,000), තුන්වැනි කාණ්ඩයට ඇතුළත් ක්‍රීඩකයන්ට ගෙවන මුදල ඩොලර් හැටදහසක්ද
({ 60,000), සිවුවැනි කාණ්ඩයට අයත් ක්‍රීඩකයන්ට ගෙවන වාර්ෂික දීමනාව ඩොලර් හතළිස් දහසක්ද ({ 40,000) සහ පස්වැනි කාණ්ඩයට ඇතුළත් වන ක්‍රීඩකයන්ට ගෙවන වාර්ෂික මුදල ඩොලර් විසිදහසක්ද ({ 20,000) වශයෙන් නව කෙටුම්පතට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් ඉදිරි වසරට අදාළව ක්‍රීඩකයන්ගේ ගෙවන කොන්ත්‍රාත්තු මුදල කාණ්ඩ 5ක් යටතේ වර්ගීකරණය කොට පසුගිය වසරේ කාණ්ඩ 4ක් යටතේ ගෙවූ මුදලට සාපේක්‍ෂව අඩුවීමක් දක්නට ලැබුණද මෙවර ගිවිසුම් මඟින් දක්‍ෂතාව මත පදනම් වූ විශේෂ දීමනා ක්‍රමයක් හඳුන්වාදීමද විශේෂත්වයකි. තවද පෙර ගිවිසුමට අනුව ජාතික ක්‍රිකට් කණ්ඩායමට අදාළව ජාත්‍යන්තර ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයකුට ගෙවූ මුදල ඩොලර් 7,500කි. එය නව යෝජිත ගිවිසුම අනුව ඩොලර් 5,000ක් දක්වා අඩුවී ඇත. නමුත් කණ්ඩායම ටෙස්ට් තරගය ජයග්‍රහණය කළහොත් ක්‍රීඩකයකුට ලැබෙන මුදල ඩොලර් 10,000ක් දක්වා වැඩිවනු ඇත. ඊට අමතරව ටෙස්ට් තරගයකදී හා ජාත්‍යන්තර එක්දින තරගයකදී ලකුණු 100ක් ලබාගත් පිතිකරුටත් කඩුලු 5ක් ලබාගන්නා පන්දු යවන්නකුටත් අමතර ඩොලර් 5,000 බැගින් උපයාගත හැකිය. එහෙත් විස්සයි - 20 තරගයකදී එම දක්‍ෂතාවන්ට ලැබෙන ප්‍රසාද දීමනාව ඊටත් වඩා වැඩිය.

එනම් විස්සයි - 20 ජාත්‍යන්තර තරගයකදී ලකුණු 100කට ඩොලර් 7,500ක්ද, කඩුලු 5කට ඩොලර් 7,500ක්ද වශයෙන් ගෙවීමට තීරණය වී ඇත. තවද එක්දින ජාත්‍යන්තර තරගයකදී ඩොලර් 3,000ක්ද, විස්සයි - 20 තරගයකදී ඩොලර් 2,000ක්ද වශයෙන් ක්‍රීඩකයකුට මින් පෙර වසරේ ගෙවූ මුදල එසේම වෙනස් නොකර ඇත.