සිකුරු වෘශ්චිකයට යයි රටට අධික වැසි සහිත කාලගුණක්


හෙට එනම් ඔක්තෝබර් 13 දා ගුරුදා රාත්‍රී 07:30 පමණ වන විට සිකුරු ග්‍රහයා වෘශ්චික රාශියට පිවිසෙයි. සිකුරු යනු ප්‍රධානත ම ජල කාරක ග්‍රහයා ය. වෘශ්චිකය ද ජල රාශියකි. එහෙත් වෘශ්චිකය සමන්විත වන්නේ එක තැන පල්වෙන විෂ සහිත දියරයෙනි. මේ වන විට එහි සෙනසුරු තැන්පත්ව බුධ හිමි නැකතක ගමන් කරයි.

ඔක්තෝබර් 13 දා සිට 16 දා දක්වා සිකුරු ගුරු හිමි විසා නැකතේ ගමන් ගන්නා අතර එකී දිනවලදී අධික වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකිව තිබේ.

ඇතැම් විට එය කෙටි කාල සීමාවකදී ඇද හැලෙන ගම්බිම් උතුරා පිටාර ගලා යන ධාරානිපාත වර්ෂාවක් බවට පරිවර්තනය වීමට බෙහෙවින් ම ඉඩ තිබේ. එමෙන් ම සුළං ප්‍රවාහය ද අනතුරුදායක මට්ටමකට වර්ධනය විය හැකිය.

ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 07 දක්වා වූ කාල පරිච්ජේදය කාලගුණය බෙහෙවින්ම විපරීත තත්ත්වයකට පත් කෙරෙන අතර සුළං සහ ජලය ආශ්‍රිත ආපදා අවදානමක් ශ්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු රටවල සිට ලෝකයේ බොහෝ රටවල් කරා ව්‍යාප්ත විය හැකි පසුබිමක් ලෝකායතන ජ්‍යොතිෂය අනුව පෙන්නුම් කරයි. වර්ෂාව - සුළි සුළං සහ සාගරය ආශ්‍රිත කැළඹීම් තත්ත්වයක් ද නිර්මාණය වීමට ඉඩ තිබෙන්නා සේම ජන ජීවිතය අවුල් කරවන සෞඛ්‍ය - සමාජ සහ දේශපාලනමය නො සන්සුන්තාවන් ද ලොව පුරා වර්ධනය විය හැකිය.

සිකුරු වෘශ්චික රාශිගතවීම සමාන වන්නේ රූබර යුවතියක් පතුළ නො පෙනෙන විෂ දිය පොකුණකට පැනීම හා සමාන විපතකට ය. මෙහි බලපෑම විශේෂයෙන්ම කාලගුණය කෙරෙහි යොමු වන අතර ඊට අමතරව ලා බාල දැරියන් නව යොවුන් යුවතියන් සහ සිනමා - කලා - විනෝදාත්මක ක්ෂේත්‍රවල නියුතු වූවන් කෙරෙහි අහිතකර පීඩනයක් එල්ල විය හැකිය. දේශපාලන ක්ෂේත්‍රයේ බලවත් චරිත විසින් ආන්දෝලනාත්මක පුවත් මැවීම මේ කාලයේදී උග්‍ර තත්ත්වයකට පත්වන බවක් ද පෙන්නුම් කරයි. කාම අපරාධ - සහ නව යොවුන් කාන්තාවන් හෝ කලා ශිල්පිනියන් ආශ්‍රිත අපචාර වාර්තා වීමද එකී කාලයේදී කැපී පෙනෙනු ඇත.

කේ.සී.ජේ රත්නායක

ඔක්තෝබර් 12 සිට ඔක්තෝබර් 18 දක්වා ඔබට කොහොමද?
මේෂ
සුඛෝපභෝගි දිවියක්

ලග්නාධිපති කුජ සිකුරුගේ නැකතේ ගමන් ගනී. ආදායම යහපත් වෙයි. විවාහ කටයුතු ද සාර්ථකව සිදුවේ. විදෙස් මූලාශ්‍රවලින් ලබන ආදායම් ද ඉහළ යයි. අපනයන ආනයන කටයුතුවලට ද යහපත්ය. කොන්ත්‍රාත්, බ්‍රෝකර් කටයුතු, කොමිස් පිට සිදුකරන කටයුතු, ඒජන්සි ව්‍යාපාර වැනි ක්ෂේත්‍රවල යෙදී සිටින්නන්ටද යහපත් වන අතර සුඛෝපභෝගීව දිවි ගෙවීමට හැකි වෙයි. ප්‍රවාහන පහසුවද ලබයි. සුබසාධන හා පරිපාලන කටයුතුවලද යෙදේ. ප්‍රේම සබඳතා වාසනාව මත ඇති වේ. සමාජය සමඟ යහපත් සබඳතා පැවැත්විය හැක. සමාජයෙන් ගරු බුහුමන් ද ලබයි.

විදෙස් ගමන් බලාපොරොත්තු වූ අයට අවස්ථාව ලැබේ. හදිසි වාසස්ථාන මාරුවකටද ඉඩ ඇත. ආමාශගත රෝග, සෙම් රෝග, රුධිර දෝෂ ආදියට ඉඩ ඇත.

වෘෂභ

විද්වතුන්ගෙන් උපකාර

ලග්නාධිපති හයේ ගමන් කරන්නේ ගුරුගේ නැකතේය. හදිසි ධන හානි මෙන්ම වාසිද වෙයි. ප්‍රවාහන වියදම් අධික වේ. ස්ත්‍රි පාර්ශ්වය වෙනුවෙන් අධිකව වියදම් දැරීමට සිදුවනු ඇත. ලේඛනයේ යෙදෙන්නන්ටත්, වෙනත් ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන්නන්ටත් නිර්මාණ ශක්තිය ලැබේ.

කල්ගත වෙමින් තිබූ විවාහ කටයුත්තක් පිළිබඳ හදිසියේ අවසන් තීරණයකට එළඹේ. මව ඔත්පල විය හැක. තම අවශ්‍යතා හා ව්‍යාපෘති වෙනුවෙන් ණය මුදල් ගත හැකි වෙයි. සූදුඔට්ටු ජය අත් වෙයි. උගතුන්, විද්වතුන්, ආචාර්යවරු හා පූජක පක්ෂයෙන්ද ආධාර උපකාර ලබයි. ඇඳුම් පැලඳුම් ආහාර ආදියට වඩා සුඛෝපභෝගී දේට වියදම් දැරීමට සිදුවනු ඇත. උගත් සමාජය සමඟ ඇසුරට වැටේ. දියවැඩියාව, උගුර, ගෙල ආශ්‍රිත රෝග ඇතිවිය හැක.

මිථුන

කලා දක්ෂතා

හදිසියේ මුදල් වාසි අත්වෙයි. එදිනෙදා ආදායම් ලබන අයට වැඩි වාසි අත්වනු ඇත. පාසල් අධ්‍යාපනයට වඩාත් හිතකර කාලයකි. ප්‍රේම සබඳතා ඇති විය හැක. කෙටි ගමන් හා විනෝද චාරිකා හේතුවෙන් අතින් පාඩු ඇති කර ගනී. ශාස්ත්‍රීය කටයුතු, තරග ආදියෙන් ජය ලැබේ. ප්‍රතිවාදීන් අභිභවා යා හැක. බාල සොහොයුරන්ගෙන් උපකාර ලැබේ. සෑම කටයුත්තකදීම තම දක්ෂතා ඉස්මතු වනු ඇත. ගණිත මිණිත, ලේඛන කලා කටයුතුවලින් දක්ෂතා ‍ඉස්මතු වෙයි.

ස්වෝත්සාහයෙන් ඉගෙනීම දියුණු කරගත හැක. ගුප්ත විද්‍යා කටයුතුවලින් ප්‍රයෝජන ලැබේ. අසල්වැසියන් වෙනුවෙන් ඉදිරියට යයි.

ළය පීනස, මුත්‍රාශය ආශ්‍රිත රෝග, දියවැඩියාව ආදිය ඉස්මතු විය හැක.

කටක

වේතන වැඩිවීම්

අසීරුතාවයක් ඇති වුවද දෙවි පිහිට ලැබී ඉන් මිදීමේ වාසනාව ඇත. හදීසි විදෙස්ගතවීම් විය හැක. පර්යේෂණ කටයුතුවලට යොමු වෙයි. අපනයන ආනයන ක්ෂේත්‍රවල අයට ඉතා වාසිසහගත සතියකි. උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමේ අවස්ථාද සලසාගත හැක. විදෙස් මූලාශ්‍රවලින් ධනය ලබන අයට ද වාසි සැලසේ. සමස්තයක් ලෙස ගත් කල අය පක්ෂය ඉහළ යයි. වෘත්තිමය මට්ටමේ බලතල උසස්වීම් වේතන වැඩිවීම් ආදියට අවස්ථා සැලසෙනු ඇත. සුබසාධක කටයුතුවලට යොමු වෙයි. සුඛෝපභෝගීව සිටිය හැකි සතියකි.

හොඳින් සිතා සූක්ෂමව තීන්දු ගනී. නුවණ මෙහෙයවයි. සැලසුම් සහගත වෙයි. රුධිර දෝෂ, සෙම රෝග, උදරාබාධ ආදිය පැන නැඟිය හැකි බැවින් පරිස්සම් වන්න.

සිංහ

අමතර වියදම්

ලග්නාධිපති රවි කුජගේ නැකතේ ගමන් ගනී. රජයේ උසස් ප්‍රභූ අයගේ ඇසුර ලැබේ. ක්‍රීඩා, නාට්‍ය ආදී අතිරේක ක්‍රියාකාරකම්වල හැකියා ඉස්මතු වේ. හදිසියේ අමතර වියදම් දැරීමට වෙයි. තම දරුවන් වෙනුවෙන්ද අමතර වියදම් දරයි.

බාල සොයුරන්ගෙන් හා අසල්වැසියන්ගෙන් උපකාර හා මුදල් ආධාරද ලැබෙනු ඇත. ඉඩම්, පතල් කෘෂිකර්මාන්තය ආදී අංශවල නිරතව සිටින්නන්ට යම් සහනයක් ලැබේ. සියලුම අංශවල අධ්‍යාපනයෙන් ප්‍රගතියක් ලද හැක. කෙටි ගමන් අතර ප්‍රේම සබඳතාවයක් ගොඩනැ‍ෙඟ්. ගමනා ගමන පහසුව ලබයි. ආකර්ෂණීය ගතිය තවදුරටත් රඳවාගත හැක. ස්ත්‍රී පාර්ශ්වයේ වැඩි අවධානයට ලක්වනු ඇත.

හදිසි රෝහල්ගත වීමකටද ඉඩ ඇත. ආමාශය, ළය පීනස වැනි රෝග මතුවිය හැක.

කන්‍යා

අධ්‍යාපනයේ ප්‍රගතියක්

ලග්නාධිපති බුධ ගුරු සමඟ යෝගව ලග්නයේම සඳුගේ නැකතේ ගමන් කරයි. වැයට වඩා අය පක්ෂය ඉහළ යනු ඇත. එසේ වූවත් වංචාකාරයින්ට හසුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. බාල සොයුරකු වෙනුවෙන් මුදලක් වැය වේ. ආයතන ප්‍රධානීන්ගේ විරසකයට ලක්වූවත් බුද්ධිය මෙහෙයවා සූක්ෂමව කටයුතු කිරීමේ හැකියාව පවතී.

පාසල් හා උසස් අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක් ලබයි. හවුල් ව්‍යාපාරිකයන් අතර සහයෝගීතාව බිඳ වැටේ. ආත්මාර්ථකාමීත්වය ඉස්මතු වෙයි. සමාජ කටයුතු තම වාසියට හැරේ.

හදිසි යෝජනාවලින් විවාහය තීරණය වේ. තම රාජකාරි ස්ථානයේ අප්‍රසන්න වාතාවරණයක් ඇති වෙයි .රුමැටික් රෝග, ආමාශගත රෝග ආදිය මතුවිය හැක.

තුලා

වන්දනා ගමන්

ලග්නාධිපති සිකුරු ගුරුගේ නැකතේ ගමන් ගනී. සුබසාධන කටයුතුවලට යොමුවෙයි. වෘත්තිමය කටයුතුවල හදිසි වෙනස්කම් හෝ හදිසි මාරුවීම් සිදුවිය හැක. තමා අතින් ධන පරිත්‍යාගයක් සිදුවෙයි. ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් වැඩි වියදමක් දැරීමට සිදුවනු ඇත. ණයෙන් කොටසක් හෝ මේ සතියේ ගෙවන්නට සිදුවෙයි. තම වෘත්තිමය ස්ථානයේ ස්ත්‍රී පාර්ශවයේ හෝ ප්‍රධානීන්ගේ වැඩි සැලකිල්ලට භාජනය වෙයි. තම ඥාති සහෝදරයකුගේ වියෝවක් සිදුවිය හැක. මවු පස තම මාමලාගෙන් උපකාර ලැබේ. විදේශගතවීමට තමාගේ අතින් යම් මුදලක් ගෙවන්නට සිදුවේ. හදිසි වන්දනා ගමන් යෙදෙනු ඇත. රුධිර දෝෂ උදරාබාධ ආදියට ඉඩ ඇත.

වෘශ්චික

ගෘහ ජීවිත‍ෙය් කරදර

ලග්නාධිපති සිකුරුගේ නැකතේ ගමන් ගනී. ගමනා ගමන වියදම් අධික වෙයි. වාහන හිමියන්ට තම වාහන අලුත්වැඩියා කිරීමට කරුණු යෙදේ. දරුවන්ගෙන් උපකාර ලබයි.

අතපසු වී ඇති මුදල් ගනුදෙනු ටික ටික හෝ ලැබේ. සුබසාධන හා දානමය කටයුතුවලට වියදම් කරයි. විදේශයක හෝ ඈත එපිට සිටින හිතවතුන්ගෙන් හා පියාගෙන් මුදල් උපකාර ලැබේ.

ගෘහ ජීවිතයේ කරදර ඇතිවිය හැක. මව රෝගී විය හැක. වැඩිමහල් සොයුරන්ගෙන් හා මිතුරන්ගෙන් උපකාර ලබයි.

උසස් අධ්‍යාපනයට හිතකර කාලයකි. සුඛෝපභෝගී දේ ගැනීමට වැඩි වියදමක් දරයි. පාසල් අධ්‍යාපනයට බාධා ඇතිවිය හැකි අතර අධ්‍යාපනය මඟහරින්නට උත්සාහ කරයි.

හිසේ ස්නායු රෝග, අත්, පා, උරහිස් අමාරු, ආමාශගත රෝග ආදිය ඉස්මතු විය හැක.

ධනු

ප්‍රේම සබඳතා

ගුරු හා සඳු දහවැන්නේ සඳුගේ නැකතේ ගමන් ගනී. රාජකාරි ස්ථානවල හදිසි වෙනස්වීම්, මාරුවීම් ආදිය සිදුවිය හැක. දුරබැහැර රාජකාරි ගමන්, විදෙස් ගමන් ආදිය යෙදිය හැක. අවශ්‍යම වෙලාවට කෙසේ හෝ මුදල් සොයා ගැනීමට හැකි වෙයි. සුවපහසු හොඳ වාසස්ථාන ලබයි. විදෙස් සබඳතා ඇති කාන්තාවක් සමඟ ප්‍රේමයක පැටලේ. සුබසාධන හා දානමය කටයුතුවලට දායක වෙයි. වෘත්තීය කටයුතුවලදී කේලම්, චෝදනා ආදියට භාජනය විය හැක. යම් යම් දේ නැතිවීමට ඉඩ ඇති හෙයින් තම සන්නිවේදන උපකරණ, ලියකියවිලි ආදිය පරිස්සම් කර ගන්න.

රාගාධික ගති ඉස්මතු වෙයි. ගුප්ත විද්‍යා කටයුතුවලින් අපලවලට පිහිට ලැබේ. ඒවායින් අන්‍යයන්ටද උපකාර කර ප්‍රයෝජනද ලද හැක.

උදරාබාධ, ළය පීනස පාද ආබාධ ආදියට ඉඩ ඇත.

මකර

පිනට යොමු වේ

ලග්නාධිපති ශනි බුධගේ නැකතේ යයි. උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට ද හැකියාව උදාවෙයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ද ලබයි.

තම ගම් ප්‍රදේශයේම ප්‍රේමයක පැටලිය හැක. ඉතා හදිසි දුර ගමන් යෙදේ. ආගමික සේවයේ යෙදීමත් දානමය කටයුතුවලට එක්වීමත් සිදුවෙයි. ලැබීමට ඇති ණය මුදලෙන් කොටසක් හෝ ලැබේ. මිත්‍රයින්ට, නෑදෑයින්ට මෙන්ම තමන් අවට සිටින සියලුදෙනාටම උපදෙස් ගරු බුහුමන් දිය හැකි තත්ත්වයකට පත්වෙයි.

දුරබැහැර සුබසාධන කටයුතුවල යෙදේ. පර්යේෂණ හා ශාස්ත්‍රීය කටයුතු වෙනුවෙන් කාලය වැය කරයි. වෘත්තිමය හා ආදායම් කටයුතුවලදී දැඩිව රහසිගත බව රැකගැනීමට වගබලාගන්න.

පූජ්‍ය පක්ෂයේ හා නීතිවේදීන්ගේ උපකාර ලබයි. පාදවල හා ආමාශයේ රෝග ප්‍රවණතා ඇත. හදිසි අනතුරුවලින් රෝහල්ගතවීමටද ඉඩ ඇත.

කුම්භ

මුදල් වාසි

ලග්නාධිපති ශනි පහ, අට අධිපති බුධගේ නැකතේ ගමන් ගනී. මේ කාලයේ ආර්ථිකය එතරම් යහපත් නැත. බොහෝ කටයුතු අසාර්ථක විය හැක. හදිසි මුදල් වාසි ලැබීම නිසා දැඩි අපහසුතා මඟහැරගත හැකි වෙයි. මංගල කටයුතු අවාහ විවාහ සාර්ථක වෙයි. යහපත් ගුණගරුක කාලත්‍රයකු මුණගැසෙනු ඇත.

වෘත්තීය මට්ටමෙන් තම වේතනයෙන් විවිධ ණය හෝ වෙනත් වාරික මුදල් කැපීයාම දැකිය හැක. වාර්ෂික ගෙවීම් ඉහළ යයි. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ද වැඩි වියදමක් දැරීමට සිදුවනු කාලයකි. වෘත්තීය කටයුතුවලට ප්‍රවාහන පහසුව ලබයි. අන් අයට තමන් ගැන වටහාගැනීමට හැකිවේ. යම් යම් දේ සඟවාගෙන සිටින බවක් අන්‍යයන්ට හැ‍ඟෙනු ඇත. ගුප්ත විද්‍යාවෙන් ප්‍රයෝජන ගත හැක. පාසල් අධ්‍යාපනයට යහපත් කාලයකි.

රුධිර දෝෂ, උදරාබාධ ආදිය ඇතිවිය හැක.

මීන

රැකියාවේ වෙනසක්

ලග්නාධිපති ගුරු බුධ සමඟ සඳුගේ නැකතේ තවදුරටත් ගමන් කරයි.

හවුල් ව්‍යාපාරිකයන්ට යම් සහන කාලයකි. ස්ත්‍රීන් සමඟ ඇතිවන සබඳතා හේතුවෙන් අපචාර චෝදනා නැෙඟයි. ව්‍යාපාර කටයුතුවලට ණය ගනී. තමන්ගේ මුදල් යමෙක් වංචා කරයි.

අපනයන හා විදෙස් මූලාශ්‍රවලින් ලැබෙන්නට නියමිත මුදල් ටිකෙන් ටික හෝ ලැබේ. සංගීත ක්ෂේත්‍රයේ නිර්මාණාත්මක බව ඇති වෙයි. උසස් අධ්‍යාපනයට වැඩි වියදමක් දරයි. ණයකාරයින් සමඟ ගැටුම් නිර්මාණය වෙයි. හදිසි රැකියා වෙනසක් පෙන්වයි. මහජන සම්බන්ධතා වැඩිවන නිසා ව්‍යාපාර ක්ෂේත්‍රයේ අයට අමතර ආකර්ශණයක් ලැබේ. දියවැඩියා රුධිර දෝෂ, උණ නරක්වීම ආදී රෝග වැළඳීමේ අවදානමක් පවතී.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

පානදුරේ රෝහන් වීරරත්න