නාමල් FCIDයෙන් මිලියන 200ක් ඉල්ලයි

කිසිදු නීතිමය පදනමක් නොමැතිව දේශපාලන බලපෑම මත තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඇති වූ මානසික හා ශාරීරික පීඩාවට වන්දි වශයෙන් රුපියල් මිලියන 100 බැගින් අය කර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 2ක් ඊයේ (10දා) ගොනු කර තිබේ.

රග්බි ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා ක්‍රිෂ් සමාගමෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩුවකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් 2016 ජූලි 11 වැනිදා අත්අඩංගුවට ගෙන ජූලි 18 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් සිදුවූ අපකීර්තියට හා මානසික පීඩාවට වන්දි වශයෙන් එම විමර්ශන කොට්ඨාසයේ අංක 7හි ස්ථානාධිපති අනුර ප්‍රේමරත්න මහතාගෙන් සහ උප පොලිස් පරීක්ෂක ලලිත් ශාන්ත මහතාගෙන් වෙන වෙනම රුපියල් මිලියන 100 බැගින් අය කර දෙන ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ මහතා එම නඩු දිසා අධිකරණය හමුවේ පවරා තිබිණි. 

නීතිඥ අතුල ද සිල්වා මහතා මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා දිසා අධිකරණය හමුවේ අදාළ නඩු 2 ගොනු කර තිබිණි.