නිරෝගී දිවියකට දිනපතා කිරි ආහාර අවශ්‍යයි



කිරි යනු සියලුම වයස් කාණ්ඩවලට අයත් වුවන් සඳහා සුදුසු වූ, කාබෝහයිඩ්‍රේට (ලැක්ටෝස්) මේද, ප්‍රෝටීන් විටමින් හා ඛනිජ ලවණ අඩංගු සම්පූර්ණ ආහාරයකි. මාස 6 ට අඩු දරුවන් සඳහා මව්කිරි අනිවාර්ය අතර, අනෙකුත් කිරි හා කිරි නිෂ්පාදන මෙම වයස් කාණ්ඩය සඳහා සුදුසු නොවේ. ළමුන් හා යෞවන අවදියේ පසුවන අය සඳහා කිරි හා කිරි නිෂ්පාදන පරිභෝජනයට ගැනීම වැදගත් අතර, ඔවුන්ගේ දත් හා අස්ථි වර්ධනය සඳහා මෙය අත්‍යවශ්‍ය වේ. මෙම අවදියේ සිදුවන සීඝ්‍ර වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය පෝෂක වන කැල්සියම් හා පොස්පරස් කිරිවල බහුල අතර, පැණි බීම වෙනුවට කිරි බීම සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

කිරිවල අඩංගු පෝෂක විටමින්

කිරිවල සැළකිය යුතු ප්‍රමාණයක් විටමින් B

සංකීර්ණයට අයත් විටමින් අඩංගු වේ. විශේෂයෙන් කිරිවල අඩංගු B 12 විටමිනය ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට මෙන්ම රතු රුධිරාණු නිෂ්පාදනයටද වැදගත් වේ. සම්පූර්ණ යොදය සහිත කිරි, විටමින් ඒ වලින් පොහොසත් අතර, මේද රහිත හෝ අඩු මේද කිරිවල විටමින් ඒ අන්තර්ගතය ඉතා අල්පය. මේද රහිත හෝ අඩු මේද කිරිවල මේදයේ දියවන විටමින් අන්තර්ගතය ඉතා අඩු වුවත් නැවත එකතු කිරීම හෝ බලකරණය තුළින් මෙම විටමින් නැවත ආහාරයට එකතු කළ හැකිය.

ඛනිජ ලවණ

කැල්සියම් හා පොස්පරස් බහුල ආහාරයක් වන කිරි, අස්ථි සහ දත් වර්ධනයට වැදගත් වේ. කිරිවල අඩංගු කැල්සියම් ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ. එමෙන්ම සම්පූර්ණ යොදය සහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය හා මේද රහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය එක සමානය. ජීවිතයේ පසු කාලයේදී වැළඳිය හැකි ඔස්ටියෝපොරෝසිස් නමැති අස්ථි තුනී වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා දිනපතා කිරි හෝ කිරි ආහාර පරිභෝජනයට ගැනීම යෝග්‍යය.

මේදය

දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදීම සඳහා කිරිවල අඩංගු මේදය දායක වෙයි. සම්පූර්ණ යොදය සහිත කිරිවල සංතෘප්ත මේදය බහුලය. එහෙත් මේද රහිත කිරිවල මේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, අඩුමේද සහිත කිරිවල මේදය හරි අඩකටත් වඩා අඩුවෙන් අඩංගු වේ. මේද රහිත කිරි වැඩිහිටියන්ට, අධිබරැති දරුවන්ට හා රුධිරවාහිණි අවහිරතා රෝග ඇති අයට වඩා යෝග්‍ය වේ. එයට හේතුව වන්නේ කිරිවල ඇති මේදය රුධිර වාහිණී වල තැන්පත් වීමයි. මේදය අඩු කිරිවල අඩංගු ශක්ති ප්‍රමාණය, අත්‍යවශ්‍ය මේද අම්ල හා මේදයේ දියවන විටමින් වර්ග අඩු බැවින් කිරිපිටි නිර්දේශ කරන අවස්ථාවලදී, අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා මේද රහිත කිරි භාවිතය සුදුසු නොවේ.

සීනි

කිරිවල අඩංගු සීනි “ලැක්ටෝස්” ලෙස නම් කරයි. කිරිවල අඩංගු ලැක්ටෝස් එදිනෙදා භාවිතයට ගැනෙන සුදු හා දුඹුරු සීනි මෙන් දත් දිරායාම කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකරයි.

ඔස්ටියෝපොරෝසිස්

දීර්ඝ කාලයක සිට අස්ථි තුනී වීම සහ අස්ථි ඝණත්වය අඩුවීම නිසා අස්ථි බිඳීයාමේ තත්ත්වය ඔස්ටියෝපොරෝසිස් නමින් හඳුන්වයි. කුඩා කල සිට කිරි හා කිරි ආහාර දිනපතා ආහාරයට එකතු කර ගැනීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකිය.

ලැක්ටෝස් අසාත්මිකතාවය

කිරි විශාල ප්‍රමාණයක් (කිරි මිලි ලීටර් 500 හෝ ඊට වැඩි ප්‍රමාණයක්) එකවර පානය කිරීම නිසා පාචනය, බඩ පිපුම වැනි උදරයේ අසාත්මිකතාවයන් සමහර පුද්ගලයින්ට ඇති විය හැක. මෙය ලැක්ටෝස් අසාත්මිකතාවය ලෙස හඳුන්වයි. එවැනි පුද්ගලයින්, කිරි භාවිතයේදී එය ස්වල්ප ප්‍රමාණයක් (වීදුරු 1/4) බැඟින් මුලින් ගෙන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි කළ යුතුය. 

මුදවපු කිරි හා යෝගට් වල අඩංගු ලැක්ටෝස් පැසවීමේදී ලැක්ටික් අම්ලය බවට පත්වේ. එමනිසා ලැක්ටෝස් අසාත්මිකතාව ඇති අයට මෙවැනි ආහාර වඩා සුදුසුය. ආහාර වේලකින් පසු කිරි ස්වල්ප ප්‍රමාණයක් පානය කිරීම හෝ යෝගට් හෝ මුදවපු කිරි ආහාරයට ගැනීම මඟින් මෙම තත්ත්වය පාලනය කරගත හැක. තවද කිරිවල අඩංගු ප්‍රෝටීන සඳහා අසාත්මිකතාව දක්වන අයට සෝයා කිරි යෝග්‍ය වේ.


අප විසින් දිනකට පරිභෝජනය කළ යුතු කිරි ප්‍රමාණය

නැවුම් කිරි පීරිසි කෝප්ප/ වීදුරු 1 ක් (මිලි ලීටර් 200)

මුදවපු කිරි පීරිසි කෝප්ප 1 ක් (මිලි ලීටර් 100) හෝ යෝගට් 1 ක්

පිටි කිරි මේස හැදි 2 ක් යොදා සාදන ලද කිරි වීදුරු 1 ක්

ඉහත සඳහන් කිරි හෝ කිරි ආහාර වලින් 1 ක් හෝ 2 ක් දිනපතා ගැනීම ඕනෑම අයකුට සුදුසු වේ. එහෙත් ළමුන්, යොවුන් වියේ පසු වන්නන්, ගර්භනී හා කිරි දෙන මවුවරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවය ඉහළ බැවින්, කිරි හෝ කිරි ආහාර දෙකක් දිනපතා ගැනීම සුදුසු වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අනුග්‍රහයෙනි.